දුම්රිය ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම විද්‍යුත්කරණය කිරීමේ ව්‍යාපෘතිය ඇමරිකානු ඩොලර් මිලියන 22 ක කොන්ත්‍රාත්තුවක් මත චීන සමාගමකට ලබාදීමේ උත්සහායක් ඇති බවට දුම්රිය වෘත්තීය සමිති ප්‍රමුඛ රාජ්‍ය හා අර්ධ රාජ්‍ය වෘත්තීය සමිති රැසක් චෝදනා කර සිටියි.
එම ව්‍යාපෘතිය නොමිලයේ සිදුකර දීමට දේශීය සන්නිවේදන සමාගමක් විසින් එකඟත්වය හා කැමැත්ත පළකර තිබියෙදී මෙසේ සිදුවී ඇති බවයි ඔවුන් පවසන්නේ.
මෙම ව්‍යාපෘතිය නොමිලයේ සිදුකර දීම ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම කැමැත්ත පළකර තිබියදී, එය චීන පුද්ගලික සමාගමක් වන වේල්ක්වුඩ් (Whale cloud technology) නැමති සමාගමට ලබා දීමට උත්සහා ගනිමින් සිටින බවයි ශ්‍රී ලංකා පොදුජන දුම්රිය සේවක සංගමයේ ලේකම් නදීර මනොජ් මහතා පෙන්වා දෙන්නේ.
වත්මන් ප්‍රවාහන ඇමති ගාමිණි ලොකුගේ මහතා ද මෙම ව්‍යාපෘතිය දේශීය සමාගමක් වන ටෙලිකොම් සමාගම වෙත ලබාදීමට පූර්ණ එකඟත්වය පළකර ඇති බවයි පැවසෙන්නේ.
මෙම උත්සහාය වැළැක්වීමේ ක්‍රියාවලියට දුම්රිය වෘත්තීය සමිති 30 කට අධික සංඛ්‍යාවක් මෙන්ම ජාතික මට්ටමේ වෘත්තීය සමිති ඇතුළු බලවේග සියයකින් පමණ දැඩි විරෝධයක් මතුව තිබෙන බවත් මෙම ක්‍රියාවලියට එරෙහිව දැවැන්ත ඒකාබද්ධ වෘත්තීය අරගලයක් ගෙන යන බවත් දුම්රිය එන්ජින් රියැදුරු සංගමයේ ලේකම් ඉන්දික දොඩම්ගොඩ මහතා පවසනවා.
මේ සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දැනුවත් කළ බවත්, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව, විගණකාධිපතිවරයා ආදී පාර්ශ්ව රැසකට පැමිණිලි කර ඇතත් මෙම ක්‍රියාවලිය මෙතෙක් නැවතී නැති බවයි ඔහු පවසන්නේ.
පසුගිය ආණ්ඩුව සමයේ දී ආසියානු සංවර්ධන බැංකුවේ ණය ආධාර යටතේ මෙම ව්‍යාපෘතිය සිදුකිරීමේ ටෙන්ඩරය ඉහත සඳහන් චීන සමාගම වෙත ලැබී ඇති බවයි මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රවාහන අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා සඳහන් කරන්නේ. එමෙන්ම, ටෙලිකොම් සමාගම ද මෙම ටෙන්ඩරය වෙනුවෙන් තරඟ කළද ඔවුන් හට එම ටෙන්ඩරය ලැබී නැති බවත් ඔහු පෙන්වා දෙනවා.
බොහෝ දෙනාගේ ඉල්ලීම් හමුවේ මෙම ව්‍යාපෘතිය ටෙලිකොම් සමාගම වෙත ලබා දීම තමාගේ ද පෞද්ගලික කැමැත්ත වී තිබුණත් එය සිදුකිරීම අසීරු කටයුත්තක් බවයි අමාත්‍යවරයා පවසන්නේ. එමෙන්ම ඉහත වෘත්තීය සමිති පවසන ආකාරයට කිසිදු පාර්ශ්වයක් මෙම ව්‍යාපෘතිය නොමිලයේ සිදුකර දීමට එකඟත්වය පළකර නොමැති බවත් හෙතෙම අවධාරණය කරනවා.