27 C
Colombo
Tuesday, May 7, 2024

මහජන බැංකුවට බිලියන 54ක ණය පොල්ලක්

- Advertisement -

මහජන බැංකුව  පෞද්ගලික අංශයේ විවිධ සමාගම්  රැසකට  දුන් රුපියල්   කෝටි 5400 කට  ආසන්න ණය මුදලක් ගෙවීම පැහැර හැර  ඇතැයි පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝප් කමිටුව) තොරතුරු අනාවරණය විය.

මෙම ණය ලබාගෙන  ඇති ආයතන, ණය ලබාදීම සඳහා  ඇගයීම් කළ ආකාරය සහ  අනුමැතිය ලබාදීම සදහා සම්බන්ධ වූ පුද්ගලයන් ඇතුළු කරුණු පිළිබඳ සවිස්තරාත්මක වාර්තාවක් මසක් ඇතුළත ලබා දෙන  ලෙස  කෝප් කමිටු සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ මහතාට ඊයේ (04) නිර්දේශ කළේය.

එසේම මෙම තොරතුරු ඉදිරි කෝප් වාර්තාවේ ප්‍රකාශයට පත්කරන  බවද කෝප් සභාපතිවරයා  ප්‍රකාශ කළේය.

කෝප් සභාපතිවරයා මෙම නිර්දේශ  ලබා දුන්නේ මහජන බැංකුවට අදාළව නිකුත් කර ඇති  2018, 2019 මූල්‍ය වර්ෂවල විගණකාධිපති වාර්තා හා වර්තමාන කාර්ය සාධනය  පරීක්ෂා කිරීම සදහා  එම  බැංකුවේ ප්‍රධානීන්  පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාවට (කෝප් කමිටුව) ඊයේ  (04) කැඳවූ අවස්ථාවේදීය.

මෙම සාකච්ඡාව පාර්ලිමේන්තු සංකීර්ණයේදී  පැවැත්විණ

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්හට ඇතැම් අවස්ථාවලදී බැංකු ණයක් ලබා ගැනීමට විශාල පරිශ්‍රමයක් දැරීමට සිදුවන පසුබිමක,  ගෙවීමට ශක්‍යතාවක් නොමැති සමාගම්වලට  ප්‍රමාණවත් පරිදි දේපළ ඇපයට තබා ගැනීමකින් තොරව   රුපියල්  බිලියන 2, 3, 4 බැගින්  විශාල ණය ලබාදී ඇති බව නිරීක්ෂණය වන බැවින් මේවාට අනුමැතිය කුමන ආකාරයකින් ලැබුණිද යන වග හෙළි කළ යුතු බව කමිටුවේ මන්ත්‍රීවරු මෙහිදී අවධාරණය කළහ.

එසේම ඉදිරියේදී ණය ලබා දෙන විට  වඩාත් විධිමත්  ක්‍රමවේදයක් ඔස්සේ එය සිදුවිය යුතු බවත් ජාතික ධනය සම්බන්ධයෙන් වඩාත් වගකීමෙන් යුතුව කටයුතු කළ යුතු බවත් ඔවුහු ප්‍රකාශ කළහ.

මහජන බැංකුවේ හිටපු සාමාන්‍යාධිකාරීවරයකු භාවිත කළ වාහනය  2019 වසරේදී විශ්‍රාම ගන්නාවිට  ඉතා අඩු වටිනාකමකට පවරාදීම පිළිබඳවද  මෙහිදී කමිටුවේ අවධානය යොමු විය.

රුපියල්  එක්කෝටි හැට ලක්ෂයකට   මිලදී ගෙන ඇති මෙම මර්සීඩීස් බෙන්ස් වර්ගයේ මෝටර් රථය 2019 වසරේදී  රුපියල්  113,698 ක මුදලකට හිටපු සාමාන්‍යාධිකාරීවරයාට පවරා ඇති බවද මෙහිදී තොරතුරු අනාවරණය විය.

බැංකුවේ සාමාන්‍යාධිකාරිවරයා වසරකට වඩා කාලයක් භාවිත කළ වාහනය මෙලෙස පවරා දීම සාමාන්‍යයෙන් සිදුවන බවත් භාවිතා කළ කාලය අනුව ක්ෂය වීම සළකා වෙළෙඳ පොළ  වටිනාකම අනුව මෙම මිල තීරණය කර  ඇති බවත් බැංකුවේ වත්මන් සාමාන්‍යාධිකාරී රංජිත් කොඩිතුවක්කු මහතා  පැවසුවේය.

මෙහිදී කමිටුව විමසා සිටියේ රු. මිලියන 16 කට ආසන්න මුදලකට මිලදී ගත් වාහනය රු. එක් ලක්ෂ දහතුන් දහසකට ආසන්න මුදලකට පවරාදීම සිදුවූයේ කෙසේද යන්නයි.

බැංකුවේ වාහන පවරා දීමේ මෙම ප්‍රතිපත්තිය වෙනස් කර  ඇති බවත් සාමාන්‍යාධිකාරි හෝ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ධුරයේ වසර 25 කට වැඩි සේවා කාලයක් ඇති අය සදහා පමණක් මෙම අවස්ථාව ලබාදීමට තීරණය කර ඇති බවත් සාමාන්‍යාධිකාරීවරයා මෙහිදී පැවසුවේය.

මෙලෙස ජාතික ධනය වැය කිරීම පිළිබද නැවත සිතා බැලිය යුතු බවත් අධ්‍යක්ෂ මණ්ඩල අවසරයකින් පමණක් දැනට සිදුකරන මෙම ක්‍රියාවලිය විශේෂ අවසරයක් යටතේ පමණක් සිදුකළ යුතු බවත් පෙන්වා දුන් කෝප් කමිටු සභාපතිවරයා මෙම තත්වය සදහා වහා මැදිහත්වන ලෙස මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතාට නිර්දේශ කළේය.

ඒඅනුව ලේකම්වරයා යටතේ ඇති බැංකු පද්ධතිය සදහා අධ්‍යක්ෂ මණ්ඩල අවසරයකින් පමණක් සිදුකරන මෙවැනි ක්‍රියා සම්බන්ධව මාර්ගෝපදේශයන් සකස්කරන ලෙසත් අවශ්‍ය ක්‍රියාමාර්ග ඉදිරියේදී ගන්නා ලෙසත් නිර්දේශ කළේය.

මේ අතර දත්ත ගබඩා කිරීම සදහා 2015 වසරේ හදුන්වා දුන් ව්‍යාපෘතියකට (Data Ware House) රු. මිලියන 402 කට ආසන්න මුදලක් වැයකළද එය  අපේක්ෂා කළ පරිදි භාවිතා කළ නොහැකිව ඇති බවත් මෙහිදී අනාවරණය විය.

මෙම ව්‍යාපෘතිය හදුන්වා දුන් එවකට මහජන බැංකුවේ සභාපතිවරයා විසින් පත් කෙරුණු    තොරතුරු තාක්ෂණ අංශයේ ප්‍රධානියා  ව්‍යාපෘතිය සිදු කළ සමාගමේ ඊට පෙර සේවය කළ අයකු බවද මෙහිදී සාකච්ඡා විය.

මේ සම්බන්ධයෙන් කිසිදු ශක්‍යතා අධ්‍යයනයක්ද සිදු කර නැති  බව අනාවරණය වූ අතර කිසිදු ප්‍රතිළුලයක් නොමැති ව්‍යාපෘතියක් සදහා රුපියල් කෝටි 40 ක ට වැඩි  මුදලක් වැය කිරීම බරපතල තත්වයක් බැවින් අමාත්‍යාංශ මට්ටමින් විධිමත් පරීක්ෂණයක් සිදු කරන ලෙසට මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාට  උපදෙස් ලබා දුන්නේය.

මේ සම්බන්ධයෙන්   විශේෂ විගණනයක් කර වාර්තාවක් ලබා දෙන ලෙස කෝප් කමිටු සභාපතිවරයා විගණාකාධිපති ඩබ්.පී.සී වික්‍රමරත්න මහතාට  නිර්දේශ කළේය.

අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයෙකුට අයත් සමාගමක් සහ එහි පරිපාලිත සමාගම් සදහා ණය ලබාදී එම ණය අක්‍රීය ණය කාණ්ඩයට මාරු කිරීමක්  පිළිබදවද මෙහිදී අනාවරණය විය.

මේ සාකච්ඡාවට අමාත්‍ය නාලක ගොඩහේවා, රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහින්ද අමරවීර, ජගත් පුෂ්පකුමාර, රෝහිත අබේගුණවර්ධන, පාඨලී චම්පික රණවක, ආචාර්ය හර්ෂ ද සිල්වා, ආචාර්ය සරත් වීරසේකර, ඉරාන් වික්‍රමරත්න, ජයන්ත සමරවීර, එස්.එම් මරික්කාර්, එස්. රාසමානික්කම්, මධුර විතානගේ සහ ප්‍රේම්නාත් සී දොලවත්ත යන මහත්වරුන්  මහජන බැංකුවේ නිලධාරීන් ඇතුළු පිරිසක්ද සහභාගී වූහ

RECENT ARTICLES - SINHALA

පොහොට්ටුව නෙළුම් මාවතට කැඳවලා

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ සියලු සංවිධායකවරුන් කොළඹට කැඳවා තිබෙනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින්...

මන්නා රමේෂ්ව දිවයිනට රැගෙන එයි

ඩුබායිහිදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු ලෙස සැලකෙන රමේෂ් ප්‍රියජනක හෙවත් 'මන්නා රමේෂ්' දිවයිනට රැගෙනවිත් තිබෙනවා. අද (07) අලුයම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස්...

කුලියාපිටියේ තරුණයා අතුරුදන් වීමේ සිදුවීමේ ප්‍රධාන සැකකරුට ඇප

කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචි තරුණයෙකු අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ ප්‍රධාන සැකකරු අද (06) සිය නීතිඥයින් මාර්ගයෙන් අධිකරණය වෙත භාරවී තිබෙනවා. එහිදී කුලියාපිටිය මහෙස්ත්‍රාත් රන්දික ලක්මාල් මහතා...

POPULAR ARTICLES

වාහන ආනයන බලපත්‍ර හිමිවන රාජ්‍ය සේවකයින් මෙන්න

වයස අවුරුදු 60 සම්පුර්ණවීමෙන් පසුව විශ්‍රාම ගිය ජේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ ජේෂ්ඨ නිලධාරීන් සඳහා තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය...

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

මැලේසියාවේ KFC ශාඛා කිහිපයක් හදිසියේ වසා දැමේ

ගාසා තීරයට එරෙහි ඊශ්‍රායලයේ යුද්ධයට එක්සත් ජනපදය දක්වන සහයෝගයට එරෙහිව දියත් කර ඇති වර්ජන ව්‍යාපාරයට මේ වන විට මාසයක පමණ කල් ගත වී තිබෙනවා....