චීන පොහොර පරීක්ෂා කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ජාතික ශාක නිරෝධායන සේවාවට චීන තානාපති කාර්‍යාලය විසින් ප්‍රභල චෝදනාවක් එල්ල කර තිබෙනවා.
ට්විටර් හරහා අදහස් දක්වමින් චීනය පවසන්නේ ශ්‍රී ලංකා ජාතික ශාක නිරෝධායන සේවාව විසින් අදාල පොහොර සාම්පල පරීක්ෂා කිරීමේදී නිසි පටිපාටියක් අනුගමනය කර නොමැති බවයි. එමෙන්ම එම පරීක්ෂාවන් වලට විද්‍යාත්මක පදනමක්ද නොමැති බවත් චීනය පවසනවා.
චීනයෙන් ආනයනය කිරීමට නියමිත කාබනික පොහොර සාම්පලවල තිබී අහිතකර ක්ෂුද්‍රජීවීන් අවස්ථා දෙකකදී හඳුනාගැනීමත් සමඟ අදාල පොහොර අඩංගු නැව හරවා යැවීමට මෙරට රජය කටයුතු කර තිබුණා.
කෙසේ නමුත් චීන තානාපති කාර්යාලය පවසන්නේ එම පොහොර නිෂ්පාදනය කිරීමේදී ජීවාණුහරණයකට ලක් කරන බවයි.
එබැවින්, ශ්‍රී ලංකා ජාතික ශාක නිරෝධායන සේවාවේ පරීක්ෂා මත එලැඹි තීන්දු හේතුවෙන් පොහොර තොගය ප්‍රතික්ෂේප කිරීම නිසා අදාල සමාගමට විශාල පාඩුවක් සිදුවූ බවටද චීනය විසින් චෝදනා කර සිටිනවා.