27 C
Colombo
Saturday, April 20, 2024

ආමි එක ඇතුළෙ කැන්වසින් කරන්න බෑ – යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක

- Advertisement -
නිරෝධායන නීති නොසලකා හරිමින් යුද හමුදා මූලස්ථානයේදී හමුදා නීති නිලධාරීන්ගේ හමුවක් පැවැත්වීමට යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා කටයුතු කර තිබේ.
පසුගිය 18 දා මෙම හමුව පවත්වා ඇති අතර, එහි අරමුණ වී ඇත්තේ මෙවර නීතිඥ සංගම් නිලවරණය වෙනුවෙන් තරග කරන ජනාධිපති නීතිඥ කුවේර ද සොයිසාට සහයෝගය දැක්වීම ය. මෙම හමුවට සහභාගි වූ විනිසුරු ඇඩ්වකේට් මේජර් ජෙනරාල් එඩ්වඩ් ජයසිංහගේ කාර්ය මණ්ඩල සාමාජිකයකුට කොවිඩ් 19 වෛරසය වැළඳී ඇති බව පසුගිය 21 වැනිදා තහවුරු වී තිබිණි. පවතින නිරෝධායන නීති අනුව එවැනි තත්ත්වයකදී අදාළ හමුවට සහභාගි වූ සියල්ලන් ද නිරෝධායනයට ලක්කළ යුතු වුවද, මෙතෙක් එවැන්නක් සිදු කර නැති බව අප කළ සොයාබැලීමකදී තහවුරු විය.
අදාළ හමුවේදී ජනාධිපති නීතිඥ කුවේර ද සොයිසා සහ නීතිඥ සංගමයේ හිටපු ලේකම් කෞෂල්‍ය නවරත්න අදහස් දක්වා ඇති අතර, මේ හමුව සම්බන්ධයෙන් යුද හමුදා නීති නිලධාරීන් බහුතරයක් අප්‍රසාදය පළකර ඇත. ඊට හේතු වී ඇත්තේ පවතින වසංගත තත්ත්වය යටතේ මෙවැනි ප්‍රචාරක රැස්වීමක් සංවිධානය කිරීම ය.

‘කැන්වසින් කරන්න බෑනෙ ආමි එක ඇතුළෙ’

මෙහිදී චෝදනා එල්ල වන, යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වාගෙන් මේ පිළිබඳව විමසීමට අප ගත් උත්සාහය ව්‍යර්ථ වූයේ ඔහු දුරකතනයට ප්‍රතිචාර නොදැක්වූ නිසා ය. එම නිසා මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකට පිළිතුරු දෙමින් යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ පැවසුවේ යුද හමුදා මූලස්ථානයට විවිධ රැස්වීම් සඳහා නිලධාරීන් ගෙන්වීම සාමාන්‍ය කරුණක් බවත්, විශේෂයෙන්ම වසර අවසානයේදී ලබන වසරේ සැලසුම් පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එවැනි රැස්වීම් සංවිධානය කෙරෙන බවත් ය.
එහෙත් අදාළ හමුව ප්‍රචාරක ව්‍යාපෘතියක් ලෙස භාවිත කිරීම සම්බන්ධයෙන් විමසීමේදී යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා මෙසේ අදහස් දැක්වීය. ‘යුද හමුදා මූලස්ථානය තුළ ඒ වගේ දේවල් වෙන්නෙ නෑ. අපි හමුදාවට අයත් දේවල් කරන්නෙ.’
එහෙත් මෙම හමුවේදී නීතිඥ සංගම් නිලවරණය සඳහා ඉදිරිපත් වී සිටින එම සංගමයේ සභාපති ධුර අපේක්ෂකයෙකුට කතා කිරීමට අවස්ථාව ලබාදීම සම්බන්ධයෙන් ද යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයාගෙන් අපි විමසීමු.
‘එතැන කැන්වසින් එකක් වෙන්න විදිහක් නෑ. කැන්වසින් කරන්න බෑනෙ ආමි එක ඇතුළෙ. යම් විෂය ක්ෂේත්‍රයක ප්‍රවීණයො සමහර අවස්ථාවල කතා කරනවා වෙන්න පුළුවන්. ඒක ගැන මට අදහසක් දක්වන්න අමාරුයි.’එම රැස්වීමේදී නීතිඥවරුන් පළකළ අදහස් පිළිබඳව විමසීමේදී ඔහු පැවසුවේ තමන් ඒ පිළිබඳව නොදන්නා නිසා කිසිවක් පැවසිය නොහැකි බවයි.
රැස්වීම් සීමා කර ඇති තත්ත්වයක් තුළ, නිරෝධායන නීති නොතකමින් මෙසේ අදාළ හමුව සංවිධානය කිරීම පිළිබඳව විමසීමේදී යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ එම රැස්වීමේ අත්‍යවශ්‍ය බව පිළිබඳව තමන් නොදැනුවත් වුවද, යුද හමුදාව නිරෝධායන නීති නොසලකා කටයුතු නොකරන බවයි.
රැස්වීමෙන් පසු ඊට සහභාගි වූ අයෙකු වෛරස් ආසාදිතයකු ලෙස හඳුනාගැනීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු පැවසුවේ අප සියල්ලන් සමාජයට විවෘත බවත්, සියල්ලන්ගේ පෞද්ගලික සම්බන්ධතා පිළිබඳ සොයා බැලීම කළ නොහැකි බවත් ය. එම නිසා මෙහිදී අදාළ පුද්ගලයාට වෛරසය ආසාදනය වූ බවක් පැවසිය නොහැකි බව ද පැවසූ මාධ්‍ය ප්‍රකාශකවරයා, යුද හමුදාව නිරෝධායන නීතිවලට අනුකූලව සියලු කටයුතු සිදු කරන බව අවධාරණය කළේය.

මෙතෙක් දැනුම්දීමක් නෑ

කෙසේ වෙතත් අප කළ සොයාබැලීමේදී තහවුරු වූයේ මෙතෙක් මෙම හමුවට සහභාගි වූ හමුදා නීති නිලධාරීන් සියලුදෙනාට අදාළ වෛරස් ආසාදිත තත්ත්වය නිසා නිරෝධායනය වන ලෙස කිසිදු දැනුම්දීමක් කර නැති බවයි. එහෙත් අනෙකුත් රාජ්‍ය ආයතනවල මෙවැනි රැස්වීම්වලට සහභාගි වූ හෝ එක් අංශයක පුද්ගලයෙකුට වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වූ විට එම අංශයම වසා දැමීම හෝ රැස්වීමට සහභාගි වූ සියල්ලන් පළමු පෙළ ආශ්‍රිතයන් සේ සලකා කටයුතු කිරීම සිදු විය.

තත්ත්වය බලලා තීරණයක් ගන්න ඕනෙ’

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් මහේන්ද්‍ර බාලසූරිය පැවසුවේ යුද හමුදා මූලස්ථානයේ පැවැති අදාළ රැස්වීම පිළිබඳව හෝ ඊට සහභාගි වූ අයෙකුට වෛරසය ආසාදනය වූ බවට තමන්ට මෙතෙක් තොරතුරු ලැබී නැති බවයි. එවැනි රැස්වීමකට සහභාගි වූ අයෙකුට වෛරසය වැළඳී ඇති බව තහවුරු වූ අවස්ථාවකදී, සිදු කළ යුත්තේ කුමක්දැයි අප කළ විමසීමේදී ඔහු මෙසේ පැවසීය.
‘මුලින්ම අදාළ රැස්වීම පැවැත්වූ ආකාරය පිළිබඳව තොරතුරු ලබාගන්න ඕනෙ. කීදෙනෙක් ඊට සහභාගි වුණාද, කොච්චර වෙලාවක් ඔවුන් එහි රැඳී සිටියද, මුව ආවරණ විධිමත්ව භාවිත කළාද, දුරස්ථභාවයට අදාළ නීති කොයිතරම් දුරට ආරක්ෂා කළාද, කොළ හෝ ලිපිගොනු එකිනෙකා අතර හුවමාරු කළාද, රැස්වීමට ඇතුළු වෙනකොට අත් සේදීම වගේ දේවල් හරියට සිදු කළාද කියන කරුණු තහවුරු කරගන්න ඕනෙ. ඒ වගේම ඇතුළු වෙන අයගෙ උණ බැලීමක් සිදු කළාද, මේ ආසාදිත බව තහවුරු වෙලා තියෙන පුද්ගලයාට රෝග ලක්ෂණ තිබුණද කියන එකත් දැනගැනීම අවශ්‍යයි. මොකද රෝග ලක්ෂණ තිබුණ නම්, ඔහුගෙන් අනෙක් අයට පැතිරීමේ සීග්‍රතාව වැඩියි. ඒක නිසා මේ තත්ත්වයන් ගැන බලලා, පළමු පෙළ ආශ්‍රිතයන් දවස් 14 ක් නිරෝධායන කිරීමේ තීරණය ගන්න ඕනෙ.’
මෙම රැස්වීමට සහභාගි වූ පාර්ශ්ව මගින් අප කළ සොයාබැලීමකට අනුව මෙහිදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම්වරයා පවසන ආකාරයට යම් තරමකට නිරෝධායන නීති ආරක්ෂා වී ඇතත්, රැස්වීමට සහභාගි වූ පිරිසගේ උණ බැලීමක් සිදු වී නැත.

ප්‍රචාරක රැස්වීමක් ද?

යුද හමුදා මූලස්ථානය තුළ ප්‍රචාරක රැස්වීම් පැවැත්වීමට අවසර නැති බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවද, අදාළ රැස්වීමේදී ජනාධිපති නීතිඥ කුවේර ද සොයිසා පවසා ඇත්තේ තමන් මෙවර නීතිඥ සංගම් නිලවරණයට ඉදිරිපත් නොවූයේ නම්, යුද හමුදාවට බැඳී පූර්ණකාලීනව සේවය කිරීමට තීරණය කර තිබූ බවයි. තමන්ට හමුදාව පිළිබඳව එවැනි ගෞරවයක් ඇති නිසා, හමුදා නීති නිලධාරීන්ට තමන්ට ඡන්දය ලබාදීමේ කිසිදු ගැටළුවක් නොතිබිය යුතු බව ද ඔහු සඳහන් කර ඇත. මෙහිදී අදහස් දක්වමින් නීතිඥ කෞෂල්‍ය නවරත්න සඳහන් කර ඇත්තේ මෙම නිලවරණයට ඉදිරිපත් වී සිටින අනෙක් සභාපති ධුර අපේක්ෂකයා හමුදාවට ද්‍රෝහිකම් කළ අයෙකු බවයි. එහෙත් එසේ ද්‍රෝහිකම් කළ බවට ඔහු මෙහිදී සාක්ෂි ඉදිරිපත් කර නැත.

සබැදි පුවත

මිඩියාඑල්කේ වෙබ් අඩවියේ පළවුවකි.

RECENT ARTICLES - SINHALA

විදුලිබල මණ්ඩලයට වැඩිම හානියක් කරලා තියෙන්නේ ජනතා විමුක්ති පෙරමුණ – කංචන

නව විදුලිබල පනත් කෙටුම්පතින් පාරිභෝගික ආරක්ෂණයට සහ ජල විදුලි බලාගාර පිළිබඳ රජයට ඇති අයිතියට කිසිදු හානියක් නොවන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර...

අපේක්ෂකයා නැතත් පොහොට්ටුව තියනවා-නාමල් (වීඩියෝ)

ඉදිරි ජනාධිපතවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ අපේක්ෂකයා...

අයිස් සමග නාවික හමුදා ලොක්කෝ දෙදෙනෙකුත් මාට්ටු

ශ්‍රී ලංකා නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩර්වරුන් දෙදෙනෙකු ඇතුළු සැකකරුවන් 4 දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 510ක් සන්තකයේ...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

ඊශ්‍රායලයෙන් ඉවත් වෙන්නැයි ඕස්ට්‍රේලියානුවන්ට නිවේදනයක්

ඉරානය වෙත ඊශ්‍රායලය ප්‍රහාර මාලාවක් දියත් කිරීමත් සමඟ ඊශ්‍රායලයේ වෙසෙන සිය වැසියන්ට එරටින් ඉවත් වෙන ලෙස ඕස්ට්‍රේලියාව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. ඊශ්‍රාලයෙන් ඉවත් වීම...

අද ඩොලරය

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයේ අගයට සාපේක්ෂව අද (17) දිනයේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමණය වී තිබෙනවා. ඒ අනුව, අද...