30.3 C
Colombo
Friday, April 26, 2024

පාකිස්තානය දණ ගැස්වූ ඉන්දීය හමුදා වික්‍රමයේ අඩ සියවසක සැමරුම

- Advertisement -

ඉන්දියාවේ ගුවන් හමුදා කඳවුරු 11කට ගුවන් ප්‍රහාර එල්ල කරමින් පාකිස්තානය ඓතිහාසික වැරැද්දක් සිදු කළේ 1971 දෙසැම්බර් 3 වනදා පස්වරුවේයි.

පන්ජාබ්, ජම්මු හා කාෂ්මීර්, හර්යානා හා රාජස්ථාන ගුවන් හමුදා කඳවුරු ප්‍රහාරවල ඉලක්ක බවට පත්වුණා.

ගුවන් ප්‍රහාරවලට අමතරව ජම්මු හා කාශ්මීර දේශසීමාවේ ස්ථානගතව සිටින ඉන්දිය පාබල හමුදා ඉලක්ක කරගනිමින් කාලතුවක්කු ප්‍රහාර මාලාවක්ද එල්ල කළා.

එදින මධ්‍යම රාත්‍රියේ ජාතිය ඇමතූ ඉන්දීය අග්‍රාමාත්‍ය ඉන්දිරා ගාන්ධි පාකිස්තානයට එරෙහි යුද්ධය ප්‍රකාශය⁣ට පත්කළා.

“අද සිට බංග්ලාදේශයේ යුද්ධය ඉන්දියාවට එරෙහි යුද්ධයක් බවට පත්ව ඇති අතර, මෙය මට, මගේ රජයට සහ ඉන්දීය ජනතාවට විශාල වගකීමක් පවරනවා. අපේ රට යුදමය පදනමකට දැමීම හැර අපට වෙනත් විකල්පයක් නැහැ. අපේ අභීත නිලධාරීන් සහ සෙබළුන් රට ආරක්ෂා කිරීම සඳහා බලමුලු ගන්වා සිටිනවා. මුළු ඉන්දියාවටම හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. අවශ්‍ය සෑම පියවරක්ම ගනිමින් පවතින අතර, ඕනෑම අවස්ථාවකට අප සූදානම්ව සිටිමු. දිගුකාලීන දුෂ්කරතා සහ කැපකිරීම් සඳහා අප සූදානම් විය යුතුය. අපි සාමයට ලැදි ජනතාවක් නමුත් අපගේ නිදහස, අපේ ප්‍රජාතන්ත්‍රවාදය සහ අපගේ ජීවන රටාව ආරක්ෂා නොකරන්නේ නම් සාමය පැවතිය නොහැකි බව අපි දනිමු. එබැවින් අද අපි සටන් කරන්නේ භෞමික අඛණ්ඩතාව සඳහා පමණක් නොව, මේ රටට ශක්තිය ලබා දුන් මූලික පරමාදර්ශ වෙනුවෙන් වන අතර, මෙයින් පමණක් අපට යහපත් අනාගතයක් කරා යා හැකිය. ආක්‍රමණශීලීත්වයට මුහුණ දිය යුතු අතර, ඉන්දියාවේ ජනතාව විනයගරුකව සහ උපරිම එකමුතුවෙන් යුතුව ධෛර්යයෙන් හා අධිෂ්ඨානයෙන් ඒ සඳහා කැපවනු ඇති. ”

මෙම යුද්ධයේ ඉතිහාස කථාව නැගෙනහිර පාකිස්ථානයේ පැවති මහ මැතිවරණයක් දක්වා ඈතට දිව යනවා.

ස්වයං නිර්ණ අයිතිය වෙනුවෙන් පෙනීසිටි ශෙයික් මුජිබර් රහ්මාන් ගේ නායකත්වයෙන් යුත් අවාමි ලීගය 1971 වසරේදී නැගෙනහිර පකිස්තානයේ පැවති මැතිවරණය  විශිෂ්ඨ ලෙස ජය ගත්තා.

මැතිවරණ ජය ගත්තද අවාමි ලීගයට නැගෙනහිර පාකිස්ථානයේ බලය පැවරීමට පාකිස්තාන මධ්‍යම රජය පසුබට වුණා

එ අනුව 1971 මාර්තු 26 වනදා බංග්ලාදේශය ස්වාධීන රාජ්‍යයක් ලෙස මුජිබර් රහ්මාන් විසින් ප්‍රකාශයට පත් කරනු ලැබුවා.

ඒ සමග උරණ වූ පාකිස්ථාන හමුදා, බංග්ලාදේශ නිදහස් ව්‍යාපාරය කඩාකප්පල් කිරීමට දරුණු ක්‍රියාමාර්ග වලට එළැඔුණේ නිරායුධ සිවිල් වැසියන් මනුෂ්‍යත්වය එරෙහි කෘෘර වධ බන්ධනයන්ට ලක් කරමින්.

අත්අඩංගුවට ගැනීම්, ඝාතන, ස්ත්‍රී දූෂණ කිසිදු ආකාරයේ සීමාවකින් තොරව සිදු කෙරුණ බව ඊට මුහුණ දුන් පිරිස් අදටත් සිහිපත් කරන්නේ ඇඩූ කඳුලින්.

1971 බංගලිදේශයේ නිදහස සඳහා වූ යුද්ධයේදී, පකිස්තාන හමුදාවේ සාමාජිකයින් සහ රසාකාර් නම් වූ පකිස්තාන ගැති ඉස්ලාමීය සටන්කාමීන් විසින් බංග්ලාදේශ කාන්තාවන් සහ ගැහැණු දරුවන් 200,000 ත් 400,000 ත් අතර සංඛ්‍යාවක් දූෂණය කර ඇති බවට වාර්තා පළ වනවා.

තත්ත්වය මෙසේ වෙද්දී දස දහස් ගණනින් නැගෙනහිර පාකිස්ථාන වැසියන් සරණාගතයන් ලෙස ඉන්දියාවට පළා ගියා.

කෙසේ වෙතත් පකිස්තාන හමුදා බෙංගාල වැසියන්ට සිදුකරන අනර්ථයන් පිළිබදව ඉන්දීය පාලනය බටහිර ප්‍රමුඛ ජාත්‍යන්තරයට කොතෙකුත් සැළ කළද බටහිර බලවතුන්ගේ සහාය දිගින් දිගටම පාකිස්ථාන පාළනයට හිමිවුණා.

වොෂින්ටනය එවක ඉන්දීය අග්‍රාමාත්‍ය ඉන්දිරා ගාන්ධිට අනතුරු අගවමින් කියා සිටියේ බෙංගාලියන්ට සහය දැක්වීමෙන් වළකින් ලෙසයි.

කෙසේ වෙතත් භූමියේ පැවති තත්ත්වය මත ඉන්දියාව, බෙන්ගලියන්ට සහය පළ කිරීමට ඓතිහාසික තීරණයකට එළැඹෙනවා.

ඉන්දියාව යුද්ධයකින් පරාජය කලයුතු බවට ලාහෝරයේ හා ඉස්ලාබාදයේ ඇතැමුන් උද්ඝෝෂණ වල නිරත වුණේ මේ අතරතුරයි.

මේ අතරවාරයේ චීනයද බොරදියේ මාළුබාමින් ඉන්දියාව බෙන්ගාලියන්ට සහය දැක්වීම විවේචනය අතරතුර ,පාකිස්ථානයට දන්වා සිටියේ සාකච්ඡා මාර්ගයෙන් ගැටළුව විසදා ගන්නා ලෙසයි.

අගමැති ඉන්දිරා ගාන්ධිගේ නියෝගයත් සමග 1971 දෙසැම්බර් 03 වනදා තුන්වන ඉන්දු – පාකිස්තාන යුද්ධය ආරම්භ වුණා.

කෙසේ වෙතත් පාකිස්තාන නායක යහියා ඛාන් පාකිස්ථානය නියත ලෙස මෙම යුද්ධය ජය ගනු ඇති බවට උදම්අනමින් සිටියා.

එකල නවීනතම T 55 යුද ටංකි ඇතුළු සන්නාහ සන්නද්ධ බලඝන සමග සවිමත් වූ ඉන්දීය පාබල බලඝන නවයක් නැගෙනහිර පාකිස්ථානයට ඇතුළු වුණේ පාකිස්තාන හමුදා අන්දමන්ද කරමින්.

බෙන්ගාලි වරුන්ගේ සහාය මෙහිදී ඉන්දියාව වෙත හිමිවීම පාකිස්ථානුවන්ගේ පරාජයේ සේයාවන් මතුකිරීමට සමත්වුණා.

දින කිහිපයක් තුල නැගෙනහිර පාකිස්තානයේ ගුවන් හමුදාව විනාශ කොට දැමූ ඉන්දීය හමුදාව , පාකිස්තාන හමුදා සාමාජිකයන් බෙංගාල බොක්කට කොටුකිරීමට සමත්වුණා.

වැඩ වැරදුන බව තේරුම් ගත් යහියා ඛාන් වහා මැදිහත් වන ලෙස ඉල්ලා අමෙරිකානු වොෂින්ටන් පාලනයේ සිය සගයන්ට පණිවුඩ යැවුවේ මේ අතරතුරයි.

ඉන්දීය ප්‍රති ප්‍රහාරය හමුවේ පාකිස්ථාන හමුදා බරපතල පසුබැස්මකට මුහුන දෙමින් සිටියදී අමෙරිකාව සිය යුධ නෞකා කිහිපයක් බෙංගාල බොක්ක දෙසට යොමුකලේ ඉන්දියාව බිය ගැන්වීමේ අරමුණින්.

කෙසේ වෙතත් ඉන්දියාව ඊට නොබියව මුහුණ දෙද්දී ,සම්මැරීන් සහිත රුසියානු නාවික බලඝනයන්ගේ සහය ඉන්දියාවට හිමිවීමත් සමග පාකිස්ථානයේ එම උත්සහයන්ද ව්‍යර්ත වුණා.

බෙංගාලයේ කොටුවී සිටි 91000ක් පාකිස්ථාන සෙබළු දෙසැම්බර් 16 ඉන්දියාව හමුවේ සිදුවූ මෙම දැවැන්ත පරාජය භාරගෙන අවි බිමතබා යටත් වූණා.

1971 දෙසැම්බර් 16 වන දින ඩැකා හි රම්නා ධාවන පථයේදී පකිස්ථාන නැගෙනහිර අණදෙන නිලධාරි ලුතිනන් ජෙනරාල් ඒ.ඒ.කේ.නියාසි, ඉන්දීය ලුතිනන් ජෙනරාල් ජග්ජිත් සිංහා ඉදිරියේ යටත්වීමට අදාල ලියවිල්ල සදහා අත්සන් තැබුවා.

යටත් වීමෙන් පසුව, ඉන්දියානු හමුදාව ආසන්න වශයෙන් 90,000 පකිස්තාන සෙබළුන් සහ ඔවුන්ගේ බෙංගාලි ආධාරකරුවන් යුද හමුදා බාරයට ගත් අතර, එය දෙවන ලෝක යුද්ධයෙන් පසු සිදු වූ විශාලතම යටත් වීම බවට  ඉතිහාසය සාක්ෂි දරණවා.

දින 13ක් වැනි කෙටි කාලයක් පැවති මෙම ගැටුම් හේතුවෙන් පාකිස්තානුවන්  9,000ක් මිය ගිය අතර තුවාල ලැබූ සංඛ්‍යාව 25,000ක්.

ලද දරුණු පරාජය හමුවේ, නැගෙනහිර පාකිස්තානය ඉතිහාස පොතෙන් වියැකී ගිය අතර බංග්ලාදේශය නම් නව රාජ්‍යයක් බිහි වුණා.

පකිස්ථාන හමුදාව සහ ඔවුන්ගේ ප්‍රාදේශීය නියෝජිතයින් විසින් කොල්ලකෑම්, ස්ත්‍රී දූෂණ සහ අනවශ්‍ය පුද්ගල ඝාතන සිදුකර ඇති බව මෙම යුද්ධයෙන් අනතුරුව සිදුකෙරෙනු ඉහළ මට්ටමේ පරීක්ෂණ වලදී අණාවරන වුණා.

පකිස්තාන හමුදාවේ අසාර්ථකත්වයන් හෙලිදරව් කළ එම වාර්තා මගින් පකිස්තාන හමුදා ජෙනරාල්වරුන් වෙත සෘජුවම දොස් පැවරුණු අතර, ඔවුන්ට අශික්ෂිත ක්‍රියා සිදුකිරීම , ජාවාරම්, යුධ අපරාධ සහ රාජකාරිය නොසලකා හැරීම යන චෝදනා එල්ල වුණා.

කෙසේ වෙතත් යුද අපරාධ චෝදනා එල්ල වූ පාකිස්තානයේ ඉහළ පෙළේ හමුදා ප්‍රධානින් හට එම පරීක්ෂණ වාර්තා  මත පදනම් වී නඩු පැවරීම් හෝ දඬුවම් කිරීම සිදුවූයේද යන්න අදටත් ගැටලුසහගත තත්ත්වයක්.
ස්වාධීන පරීක්ෂණ සිදු කර දඬුවම් පැමිණවීම වෙනුවට එවක සිටි පාකිස්තාන හමුදා ප්‍රධානීන් ධුරයෙන් පහ කිරීම වැනි කටයුතු පමණක් එරට මධ්‍යම රජය විසින් සිදු කළ බව විදෙස් වාර්තාවල සඳහන්.

කෙසේ වෙතත් 1972 වසරේ ජූලි මස දෙවැනි දා පැවති ඉන්දු පාකිස්තාන සමුළුවෙන් අනතුරුව ඉන්දියාව භාරයේ රඳවාගෙන සිටි පාකිස්තාන සිරකරුවන් අනූ දහසක් ක්‍රමානුකූලව නිදහස් කිරීමට ඉන්දියාව කටයුතු කළේ හොඳහිත ප්‍රවර්ධනය කිරීමේ එක් පියවරක් ලෙසයි.

තත්වය මෙසේ වුවත් අදටත් පාකිස්තාන පාර්ශ්වයෙන් විවිධ කෙනෙහෙලිකම් ඉන්දියාව දෙසට එල්ල වනවා.

2008 නොවැම්බර් 11 මුම්බායි ප්‍රහාරය ඊට එක් උදාහරණයක් පමණයි.

එයින් මනාව පැහැදිලි වන්නේ 1971 වසරේදී සිදු වූ දෙයින් හෝ පාඩමක් ඉගෙන ගැනීමට පකිස්තානය තවමත් සමත්වී නොමැති බවයි.

අදටත් සමස්ථ ලෝකයාටම ආගමික අන්තවාදය වැපිරීමේ මධ්‍යස්ථානයක් බවට අද පාකිස්තානය පත්ව සිටීම ඉතා නිර්ලජ්ජිත කරුණක්.

එය දකුණු ආසියානු  අසල්වැසි රාජ්‍යයන්ට මෙන්ම සමස්ත ලෝකයටම එල්ල කරන්නේ බරපතළ තර්ජනයක්.

RECENT ARTICLES - SINHALA

දුම්රියට ගොඩ වෙන්න හැදූ දෙදෙනෙක් අනතුරක

කොළඹ කොටුව දුම්රිය ස්ථානයේදී දුම්රියකට ඇතුළු වීමට උත්සාහ කළ  පුද්ගලයන් දෙදෙනෙකු අනතුරකට ලක්ව තිබෙනවා. කොළඹ කොටුව සිට මහනුවර බලා ධාවනය වීමට නියමිත දුම්රිය වේදිකාවේ නැවැත්වීමට...

ගාසා ළමා අරමුදලට මුදල් පරිත්‍යාග රැසක්

ගාසාහි ගැටුම්වලින් විපතට පත්වූවන් වෙනුවෙන් සහන සැලසීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආරම්භ කරනු ලැබූ ගාසා හි ළමා අරමුදල (Children of Gaza Fund)...

අපරාධවලින් ඉපයූ ධනය යළි අය කරගන්න නීතියක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග විස්තීරණ ණය පහසුකම ලබා ගැනීම සඳහා එළැඹ ඇති ගිවිසුම අනුව 2014 වර්ෂය වන විට වත්කම් අය කර ගැනීම සම්බන්ධයෙන් පරිපූර්ණ...

POPULAR ARTICLES

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...