26 C
Colombo
Monday, April 29, 2024

මෙරට ගනුදෙනු කරන්න ඉන්දීය රුපියල් යොදා ගන්න බැහැ – මහ බැංකුව

- Advertisement -

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර වෙළෙඳ සම්බන්ධතාව තවදුරටත් ඉදිරියට ගෙන යමින් ශ්‍රී ලංකාව තුළ Unified Payments Interface (UPI) පදනම් කරගත් ඩිජිටල් ගෙවීම් සක්‍රීය කිරීම සම්බන්ධයෙන් කතා බහක් ඇති වූයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ඉන්දීය සංචාරයේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සමග පැවති ද්විපාර්ශ්වික සාකච්ඡාවලින් අනතුරුව එලි දක්වනු ලැබූ ඉන්දු – ශ්‍රී ලංකා ආර්ථික හවුල්කාරිත්ව දැක්මත් සමගයි.

එම හවුල්කාරීත්ව දැක්මෙහි වෙළඳ, ආර්ථික සහ මූල්‍ය සම්බන්ධතා යන විෂය ක්ෂේත්‍රය යටතේ UPI ශ්‍රී ලංකාව තුල සක්‍රීය කිරීම සම්බන්ධයෙන් සටහන්ව තිබුණේ මෙලෙසයි. “දෙරට අතර වෙළඳ ගනුදෙණු පියවීම් සඳහා මුදල් ඒකකයක් ලෙස ඉන්දියානු රුපියල (INR) නම් කිරීමට ගත් තීරණය වඩාත් ශක්තිමත් සහ අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක වාණිජ සම්බන්ධතා ඇති කර ඇති අතර, ව්‍යාපාර සහ සාමාන්‍ය ජනතාව අතර වෙළඳාම සහ ගනුදෙනු තවදුරටත් වැඩිදියුණු කිරීම සඳහා Unified Payments Interface (UPI) පදනම් කරගත් ඩිජිටල් ගෙවීම් ක්‍රියාත්මක කිරීමට එකඟ විය.”
මීට අදාල අවබෝධතා ගිවිසුමකට ලංකා පේ සහ NIPL (NPCI International Payments Limited) අතර අත්සන් තැබුණේ දෙරටේ රාජ්‍ය නායකයින් දෙපළ ඉදිරිපිටදීයි.

Unified Payments Interface (UPI) යනු කේතයක් සත්‍යාපනය කිරීමෙන් ගනුදෙනු කිරීමට පහසුකම් සලසන ඩිජිටල් වේදිකාවක්. ජංගම දුරකතනයකට බා ගත කර ගන්නා යෙදවුමක් මගින් මෙම ගනුදෙනු සිදු කරනු ලබනවා. එහිදී සිදුවන්නේ මුදල් ගෙවන්නාගේ බැංකුවෙන් මුදල් ලබන්නාගේ බැංකුවට අදාල මුදල් අතත්‍ය ලෙස හුවමාරු වීමයි.
ඉන්දියානු රුපියලනේ මෙරට තුල ගනුදෙනු කළ හැකි බවට වැරදි අර්ථකතනයක් ලබා දෙන කටකතා පැතිරුණේ මෙම තාක්ෂණික ක්‍රියාවලිය පිළිබඳ ඇති නොදැනුවත්බව පදනම් කරගනිමිනුයි.
ඒ අනුව ඉන්දියානු රුපියල සම්බන්ධයෙන් වර්තමානයේ මෙරට ජනතාව අතර සංසරණය වන ඇතැම් වැරදි අර්ථකථන, පැහැදිලි කරමින් මහ බැංකුව නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එහි දැක්වෙන්නේ, ජාත්‍යන්තර වෙළෙඳාම සහ දේශ සීමා අතර සිදුවන බැංකු ගනුදෙනු සඳහා පහසුකම් සැලසීමේ අරමුණින්, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් වරින්වර තෝරා ගත් විදේශ ව්‍යවහාර මුදල්, නම් කරන ලද විදේශ ව්‍යවහාර මුදල් ලෙස අනුමත කරනු ලබන බව යි.
එය 1979 වසරේ සිට මහ බැංකුව අනුගමනය කරන ක්‍රියාවලියක් බව අදාල නිවේදනයේ සඳහන්.
2022 අගෝස්තු මාසයේදී අලුතින් ම නම් කරන ලද විදේශ ව්‍යවහාර මුදල් වර්ගය වූ ඉන්දියානු රුපියල ඇතුළුව, බැංකු පනත සහ විදේශ විනිමය පනත යටතේ පවත්නා විධිවිධාන අනුව, දැනට විදේශ ව්‍යවහාර මුදල් වර්ග 16ක් අනුමත වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.
ඔස්ට්‍රේලියානු ඩොලර්, කැනේඩියානු ඩොලර්, චීන රෙන්මින්බි, ඩෙනිෂ් ක්‍රෝනර්, යූරෝ, හොංකොං ඩොලර්, ඉන්දියානු රුපියල්, ජපන් යෙන්, නවසීලන්ත ඩොලර්, නෝර්වීජියානු ක්‍රෝනර්, ස්ටර්ලිං පවුම්, සිංගප්පූරු ඩොලර්, ස්විඩිෂ් ක්‍රෝනර්, ස්විස් ෆ්‍රෑන්ක්, තායි බාත් සහ අමෙරිකානු එක්සත් ජනපද ඩොලර් මේ වන විට මෙරට අනුමත විදේශ ව්‍යවහාර මුදල් වර්ග වනවා.
නම් කරන ලද විදේශ ව්‍යවහාර මුදල් ලෙස විදේශ ව්‍යවහාර මුදල් අනුමත කිරීමේ ප්‍රධාන අරමුණ වන්නේ, රටවල් දෙකක් අතර පවත්නා වෙළෙඳ සහ ආයෝජන සබඳතා දිරි ගැන්වීම බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

තව ද, එමගින් ද්විත්ව පරිවර්තනය නිසා සිදුවන අමතර ගනුදෙනු පිරිවැය අඩු වනු ඇති අතර, එය විධිමත් බැංකුකරණ මාධ්‍යය ඔස්සේ වෙළෙඳ ගනුදෙනු ප්‍රවර්ධනය කිරීමට ද සහය වනු ඇතැයි අදාළ නිවේදනයේ දැක්වෙනවා.
ඉන්දියාව ශ්‍රී ලංකාවේ ප්‍රධානතම හා විශාලතම වෙළෙඳ පාර්ශවකරුවායි. වසරකට ඉන්දියාවෙන් ඩොලර් බිලියන 5ක පමණ ආනයන ශ්‍රී ලංකාවට සිදු කරනවා. ශ්‍රී ලංකාවෙන් වසරකට ඩොලර් බිලියනයකට ආසන්න අපනයන ප්‍රමාණයක් ඉන්දියාවට සිදු කරනවා.
ආර්ථික අර්බුදය උත්සන්න වූ පහුගිය කාලේ කාලේ ශ්‍රී ලංකාව විශාල ඩොලර් හිඟයකට මුහුණ දුන්නා. වර්තමානයේත් එම අර්බුදයට ඒ විදිහටම මුහුණ දෙමින් සිටිනවා. මේ අවස්ථාවේදී ඉන්දීය වෙළෙඳ ගනුදෙනුවලටත් පහරක් වැදුණේ, ඩොලර් නොමැති වීම හේතුවෙන් ඉන්දියාවෙන් භාණ්ඩ ආනයනය කිරීමට දැඩි සීමා ඇති වීමත් සමගයි. මේ තත්ත්වය තුල ඉන්දීය – ශ්‍රී ලංකා ආනයන සහ අපනයන ගනුදෙනු සඳහා භාවිතා කළ ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරය වෙනුවට ඉන්දියානු රුපියල් මුදල් ඒකකයක් ලෙස පිළිගැනීමට ඇති අවස්ථාව සම්බන්ධයෙන් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව සාකච්ඡා ආරම්භ කරනු ලැබුවා.

දෙරට අතර ආනයන අපනයන වෙළෙඳමේදී ඩොලර් වෙනුවට ඉන්දීය රුපියල් භාවිත කරමින් ගනුදෙනු සිදු කිරීමේ අවස්ථාව සැලසීමට ඉන්දීය බලධාරීන් සහ ශ්‍රී ලංකාවේ බලධාරීන් පසුගියදා තීරණය කළේ මේ සාකච්ඡාවල ප්‍රතිඵලයක් අනුවයි.
එම ක්‍රියාවලිය සහ එහි ඇති වෙළෙඳ වාසිය මහබැංකුව නිකුත් කළ නිවේදනයේ විස්තරාත්මකව පැහැදිලි කර තිබුණා.
“2000 මාර්තු මස ක්‍රියාවට නැංවුණු ඉන්දු – ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුමෙන් පසුව ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර වෙළෙඳාම ශීඝ්‍රයෙන් වර්ධනය වුණි. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ආර්ථික කටයුතු පුළුල් කිරීමේ අරමුණින් විශේෂයෙන් ම දෙරට අතර පවත්නා වෙළෙඳ සබඳතා දිරිගැන්වීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් දෙරට අතර ගනුදෙනු සඳහා පහසුකම් සැලසීමට, ශ්‍රී ලංකාව තුළ නම් කරන ලද විදේශ ව්‍යවහාර මුදල් වර්ගයක් ලෙස ඉන්දියානු රුපියල අනුමත කිරීමට කැමති බව ඉන්දියාවේ මුදල් අධිකාරිය වන ඉන්දියානු සංචිත බැංකුව වෙත විවිධ අවස්ථාවන්හිදී සන්නිවේදනය කරන ලදී. ඒ අනුව, 2022 අගෝස්තු මාසයේදී, ඉන්දියානු සංචිත බැංකුවේ එකඟත්වය සමගින් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ශ්‍රී ලංකාව තුළ නම් කරන ලද විදේශ ව්‍යවහාර මුදල් වර්ගයක් ලෙස ඉන්දියානු රුපියල අනුමත කරන ලදී. කෙසේ වෙතත්, ශ්‍රී ලංකාව තුළ විදේශ ව්‍යවහාර මුදල් වර්ගයක් ලෙස ඉන්දියානු රුපියලෙහි භාවිතය ඉන්දියානු සංචිත බැංකුව විසින් නිකුත් කරනු ලබන සීමාවන්වලට යටත් වේ.

විශේෂයෙන් ම කුඩා පරිමාණ වෙළෙඳුන් විසින් ඉන්දියානු රුපියල්වලින් සිදුකෙරෙන බැංකු ගනුදෙනු සුමටව සිදු කිරීමට පහසුකම් සැලසීම, වෙළෙඳ ගනුදෙනු සඳහා අවිධිමත් මාර්ග භාවිත කිරීම වෙනුවට බැංකු මාධ්‍යය භාවිත කිරීමට වෙළෙඳුන් දිරිමත් කිරීම සහ ඉන්දියානු රුපියල්, අමෙරිකානු එක්සත් ජනපද ඩොලර්වලට මාරු කිරීමේදී සිදුවන ද්විත්ව පරිවර්තනය නිසා වන අමතර ගනුදෙනු පිරිවැය අඩු කිරීම ඇතුළු බොහෝ ප්‍රයෝජන නම් කරන ලද විදේශ ව්‍යවහාර මුදල් වර්ගයක් ලෙස ඉන්දියානු රුපියල අනුමත කිරීම හේතුවෙන් ශ්‍රී ලංකාවට ලැබෙනු ඇත. තව ද, ඉන්දියාව ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයේ ප්‍රධාන මූලාශ්‍ර රටක් වන බැවින්, බැංකු ගනුදෙනු සඳහා ඉන්දියානු රුපියල නම් කරන ලද විදේශ ව්‍යවහාර මුදල් වර්ගයක් ලෙස අනුමත කිරීම, ඉන්දියානු සංචාරකයින්ට වැඩි පහසුවක් එක් කරනු ඇත.”
මහ බැංකුව නිකුක් කළ නිවේදනයේ දැක්වෙන්නේ, දේශීය ගෙවීම් සහ පියවීම් සඳහා ශ්‍රී ලංකාවේ වලංගු මුදල් (Legal Tender) ඒකකය ලෙස ශ්‍රී ලංකා රුපියල එලෙස ම පවතිනු ඇති බවයි.

“ඉන්දියානු රුපියල නම් කරන ලද විදේශ ව්‍යවහාර මුදල් වර්ගයක් ලෙස අනුමත කිරීමෙන් ශ්‍රී ලංකාව තුළ දේශීය ගෙවීම්/පියවීම් කිරීම් සඳහා ඉන්දියානු රුපියල වලංගු මුදල් ඒකකයක් (Legal Tender) බවට පත් නොවේ. ශ්‍රී ලංකාව තුළ නේවාසිකයන් අතර සිදුවන සියලු ගනුදෙනු සඳහා භාවිත කල හැක්කේ, ශ්‍රී ලංකාවේ වලංගු මුදල් ඒකකය වන ශ්‍රී ලංකා රුපියල පමණකි.’’ මහ බැංකුව සිය නිවේදනයේ පැහැදිලිව සඳහන් කර තිබෙනවා.
ඒ අනුව, ඉන්දියානු රුපියල සම්බන්ධයෙන් සංසරණය වන වැරදි අර්ථකථනවලින් නොමග නොයන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව මහ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

RECENT ARTICLES - SINHALA

ගුරු අධ්‍යාපනඥ සේවා නිලධාරීන් අද වර්ජනයක

වැටුප් විෂමතා ගැටලුවට විසඳුම් ඉල්ලා වෘත්තීය සමිති ක්‍රියාර්ගයකට එළැඹීමට තීරණය කළ බව සමස්ත ලංකා ගුරු අධ්‍යාපනඥ සේවා නිලධාරීන්ගේ සංගමය පවසනවා.  එහි ලේකම් ධම්මික මිරිහාන මහතා...

හත්දහසකට හිමිවු පොදු සමාව

නිවාඩු ලබා නොගෙන සේවයට වාර්තා නොකර සිටින යුද හමුදා සාමාජිකයින් 7,000කට අධික පිරිසක් පොදු සමා කාලයේ පළමු සතිය තුළ ඉවත් කර තිබෙනවා. අප්‍රේල් මස 20...

සංවර්ධන නිලධාරීන් හෙට ලෙඩවෙයි

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් සංවර්ධන නිලධාරීන් හෙට (29) වෘත්තීය සමිති ක්‍රියා මාර්ගයකට එළඹීමට තීරණය කර තිබෙනවා. අද (28) මහනුවර පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් සංවර්ධන...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...

රනිල් අවුරුදු කුමාරියන්ට තෑගි දෙන්න ගිහිල්ලා

මැද කොළඹ - සුදුවැල්ල බක්මහ උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වී තිබෙනවා. මෙම වාර්ෂික බක්මහ උළෙල සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත්...