මොරගහහේන, මිරිස්වත්ත ප්‍රදේශයේදී අද (23) අලුයම 02.00ට පමණ අණ නොතකා ධාවනය කළ ත්‍රිරෝද රථයකට පොලිසිය වෙඩි තබා තිබුණා.
දොම්පේ දෙස සිට පැමිණි ත්‍රීරෝද රථයක් නැවැත්වීම සඳහා සංඥා කර ඇති අතර, ඔවුන් පොලිස් අණ නොතකා ඉදිරියට ධාවනය කර පොලිස් නිලධාරීන් දෙසට වෙඩි තැබීමක් සිදුකර මොරගහහේන දෙසට ගමන් කර තිබෙනවා.
එහිදී මොරගහහේන පොලිස් වසමේ මෙහෙයුම් රාජකාරි යෙදී සිටි බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් හට මෙම පණිවුඩය ලැබීමෙන් පසු පළා යමින් සිටි ත්‍රීරෝද රථය මොවුන් විසින් නැවැත්වීමට සංඥා කර තිබුණා.
එම අවස්ථාවේ දී ත්‍රීරෝද රථය අණ නොතකා පළා යෑම හේතුවෙන් එම නිලධාරීන් විසින් ලුහුබැඳ ගොස් ඇති අතර ත්‍රීරෝද රථය මාර්ගයෙන් ඉවතට පැන නතර වී ඇති බවත්, ලුහුබැඳ පැමිණි ජිප් රථය ත්‍රීරෝද රථය ආසන්නයට පැමිණ නැවැත්වීමත් සමග ත්‍රීරෝද රථයේ සිටි පුද්ගලයෙකු විසින් ජිප් රථය දෙසට වෙඩිතැබීමක් සිදුකළ බව පොලීසිය පවසනවා.
එම අවස්ථාවේ දී නිලධාරීන් විසින් සිදුකළ වෙඩි තැබීමක දී ත්‍රීරෝද රථයේ සිටි පුද්ගලයින් දෙදෙනෙකුට වෙඩි වැදීම හේතුවෙන් තුවාල ලබා හොරණ රෝහලට ඇතුළත් කිරීමේ දී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
එලෙස මියගොස් ඇත්තේ, 36 හැවිරිදි මත්තේගොඩ පදිංචිකරුවෙකු වන ඉමේෂ් ධනුෂ්ක දර්ශන යන පුද්ගලයායි.
මොහු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලීසියේ පෙර වැරදි වාර්තා පරීක්ෂා කිරීමේ දී 2010 සිට 2023 දක්වා කහතුඩුව හා මත්තේගොඩ පොලිස් වසම්වල අවස්ථා කිහිපයකදී ගෙවල් බිඳ දේපළ සොරකම් කිරීම් කර ඇති බවත්, ඉඩම්වලට අයුතු ලෙස ඇතුළු වී දේපල සොරකම් කර ඇති බවත්, එම වැරදිවලට අදාළව අධිකරණවල නඩු පවරා ඇති බවත් අනාවරණය වී ඇති බව වාර්තා වනවා.
එම පුද්ගලයා දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවෙකු බවට ලේඛනගත වී සිටින බවත් ඔහු යුද හමුදාවෙන් පළා ගිය සෙබළෙකු බවටත් වැඩිදුරටත් සදහන් වනවා.
ඔහු හෙරොයින්, ගංජා ළඟ තබා ගැනීම හා ජාවාරම් කිරීම පිළිබඳ මිරිහාන, මත්තේගොඩ හා මොරගහහේන යන පොලිස් වසම්වලදී අත්අඩංගුවට පත්වු අයෙකු බවට තහවුරු වී තිබෙන බවයි සදහන් වන්නේ.
පොලිස් වෙඩිපහරින් මිය ගිය අනෙක් සැකකරු වන්නේ 42 හැවිරිදි තණමල්විල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
ඔහු බණ්ඩාරනායකපුර, මත්තේගොඩ යන ප්‍රදේශවල තාවකාලික පදිංචිව සිටින සුරාජ් ප්‍රබෝධ ආදිහෙට්ටි යන පුද්ගලයෙකු බවට අනාවරණය වී තිබෙනවා.
මොහු සම්බන්ධයෙන් සිදුකළ සොයාබැලීමේ දී අයිස් හා ගංජා ළඟ තබාගැනීම පිළිබඳව පිළියන්දල, තලංගම හා තණමල්විල යන පොලිස් වසම්වල 2017 වසර්ෂයේ සිට අත්අඩංගුවට පත්වු අයෙක් බවයි වාර්තා වන්නේ.
2023 අගෝස්තු 4 වන දින කඳාන පොලිස් වසමේ ව්‍යාපාරිකයෙකුගේ නිවසට වෙඩි තැබීම සඳහා පැමිණි යතුරුපැදියේ පැදිකරු ලෙස කටයුතු කර ඇත්තේ ද මෙම පුද්ගලයා බවට තොරතුරු ලැබී තිබෙනවා.
මොහු ඒ සම්බන්ධයෙන් 2024 පෙබරවාරි මස අත්අඩංගුවට පත්ව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කර සිටි මාර්තු 18 වනදා ඇපමත මුදාහැර තිබෙනවා.
මෙම පුද්ගලයා 2002 වර්ෂයේ දෙසැම්බර් මස 26 වන දින ගිනිඅවියක් සමග කහතුඩුව පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු වරදකරු වී තිබුණා.
සැකකරු විසින් වෙඩිතැබීම සඳහා භාවිත කළ පිස්තෝල අවිය ද ත්‍රීරෝද රථය අසල වැටී තිබිය දී පොලීසිය විසින් සොයාගෙන ඇති අතර, මොරගහහේන පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.