දකුණු පළාතේ ඉහළ සංචාරක ආකර්ශනයක් දිනාගත් මිරිස්ස මුහුදට යාබදව පිහිටි රමණීය ස්ථානයක් වන Coconut Tree Hill ඉඩම පිළිබදව මේ වන විට බොහෝ දෙනෙක් අතර කතාබහක් ඇතිව තිබෙනවා.
ඒ මෙම ඉඩමේ එක් හිමිකරුවෙකු වන මිරිස්ස ප්‍රදේශයේ හෝටල් හිමිකරුවෙකු විසින් ඉඩම වෙන්කරමින් වැටක් ඉදිකිරීමත් සමගයි.
අදාල සිදුවීම සම්බන්ධයෙන් මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී අද (06) පස්වරුවේ සාකච්ඡාවක් පැවැත්වුණා.
මෙම සාකච්ඡාවට වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව, නාගරික සංවර්ධන අධිකාරිය, වැලිගම නගර සභාවේ සහ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරුන්, කොටවිල පොලීසියේ ස්ථානාධිපතිවරයා සහ ඉඩමේ එක් හිමිකාරී පාර්ශවයක්වන ආනන්ද නැමැති ව්‍යාපාරිකයා සහභාගී වූණා.
එම සාකච්ඡාවේදී වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව සදහන් කර ඇත්තේ මෙම ව්‍යාපාරිකයා අදාල වැට ඉදිකිරීමට පෙර වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අවසර ගත යුතුව තිබූ බවයි.
මෙම ඉඩම මේ වන විට සංචාරක ස්ථානයක් ලෙස පවතින බැවින් මෙහි කිසියම් ඉදිකිරීමක් කිරීමට අවසර ලබාදිය නොහැකි බව වැලිගම ප්‍රාදේශීය සභාව පවසා තිබෙනවා.
එබැවින් මෙය සංචාරක ස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමට අදාල ඉඩමේ හිමිකරුවන් සාකච්ඡා කර එක් තීරණයකට පැමිණෙන ලෙසට නිලධාරීන් දැනුම්දී තිබෙනවා.
එහිදී ව්‍යාපාරිකයා පවසා ඇත්තේ මෙම ඉඩමේ හිමිකාරීත්වය පුද්ගලයන් සිවු දෙනෙකු අතර පවතින බවත් ඒ සදහා තීරණයක් ගැනීමට සතියක කාලයක් අවශ්‍ය බවයි.
මෙහිදී වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ව්‍යාපාරිකයාට දැනුම් දී ඇත්තේ අදාල අනවසර වැට වහාම එම ස්ථානයෙන් ඉවත් කරන ලෙසත් එසේ නොවන්නේ නම් අධිකරණ ක්‍රියාවලියක් දක්වා මෙම ගැටළුව දුරදිග යන බවයි.
මෙම ඉඩමට ප්‍රවේශවීමට තිබෙන මාර්ගය ව්‍යාපාරිකයාගේ ඉඩම හරහා වැටී ඇති බැවින් අදාල බාධක ඉවත්කර සංචාරකයන් හට ගමන් කිරීමට තාවකාලිකව ඉඩප්‍රස්ථාව ලබාදෙන ලෙසද මෙහිදී සාකච්ඡාවී තිබෙනවා.



වැඩිදුර කියවන්න