33 C
Colombo
Wednesday, May 8, 2024

කෝවිඩ් ඛේදවාචකය සහ ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය නාය යෑම – ඉම්තියාස් බාකීර් මාකාර්

- Advertisement -

කෝවිඩ් උවදුරේදී බොහෝ දුරට තම ජනතාව ආරක්ෂා කරගනිමින් සාර්ථක ප්‍රතිඵල ලබාගත් රටවල් ඒ තත්ත්වය උදාකරගෙන ඇත්තේ බුද්ධිමත්ව, දුරදැක්මකින් යුතුව ඒ තත්ත්වයට මුහුණ දීම හේතුවෙනී.

ප්‍රජාතන්ත්‍රවාදී සමාජයන් ලෙස එම රටවල්,පටු දේශපාලන පැවැත්ම ගැන පමණක් සිතමින්, ජනතාවට සැබෑ තත්ත්වය වසන් කරමින් කටයුතු නොකර, සියල්ල විනිවිද පෙනෙන අයුරින් තබා ගැන්ම සහ නිසිකලට, නිසි ලෙසින් නිර්භීත තීන්දු ගැන්ම දැකිය හැකිව තිබුණී.

2021 අගෝස්තු 17 වන දින සිට මුළු නවසීලන්තයම වසා තැබීමකට (Lockdown) යාමට අග්‍රාමාත්‍ය ජසින්තා ආඩ්න් තීන්දු කළේ එක් ආසාධිතයෙකු හමුවීමේ ප්‍රවෘත්තිය හේතුවෙනී. මේ වනවිටත් එම රට වසා තැබීම ක්‍රියාත්මකව  පවතී. නවසීලන්තය මුලින්ම ආසාධිතයෙකු හදුනාගත්තේ 2021.පෙබරවාරි 28 වන දිනයී. රට වසා තැබීමට ඔවුන් තීන්දු කරන්නේ මාර්තු 25 වන දිනයී. එය දිගටම සති පහකට ඔවුන් පවත්වාගෙන ගියේ තම පුරවැසියන්ගේ ජීවිත ආරක්ෂාව ඉහලම ප්‍රමුඛත්වය ලෙස සලකමිනී.

කෝවිඩ් උවදුර තදින්ම බලපාන අවස්ථාවක ජර්මන් ජනතාව ඇමතූ එම රටේ රාජ්‍ය නායිකාව වන චාන්සලර් ඇන්ජිලා මර්කල් කළ ප්‍රකාශය මට සිහිපත්වේ.

“ මේ අවස්ථාවේ දී මේ පිළිබදව ගන්නා වූ සියළු තීන්දු තීරණ ගනු ලබන්නේ අපේ රටේ වෛද්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීනයන්ය. දේශපාලන නායකයන් ලෙසින් මේ මොහොතේ අප සිටින්නේ ඔවුන්ට පිටුපසිනී.”

එහෙත් ශ්‍රී ලංකාව මේ තත්ත්වයට ප්‍රතිචාර දැක්වූ අයුරු ගැන මතකය අවදිකර බලන්න. එදා අපේ රටේ වෛද්‍ය විශේෂඥයන්,ප්‍රවීණයන් නැගූ හඩට කන්දීමක් තිබුණේද? අපේ වෛද්‍ය සංගම් මෙන්ම වෛද්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ වෙනත් සංවිධාන නැගූ හඩට කන්දීමක් තිබුණේද? ශ්‍රී ලාංකික සම්භවයක් සහිත විදේශගත ශ්‍රී ලාංකික වෛද්‍ය විශාරාදයන් මේ ගැන කළ අනතුරු ඇගවීම්වලට කන්දීමක් තිබුණේද?

අපේ විපක්ෂ නායකවරයා 2020 ආරම්භයේ සිට දිගටම පාර්ලිමේන්තුව තුළ මෙන්ම පිටතදීත් රජයට මේ උවදුර පිළිබදව කල් ඇතිව අනතුරු ඇගවීම් කරමින් සිටි අයුරු මගේ මතකයට නැගේ. කෝවිඩ් උවදුරේ බැරෑරුම්කම සහ ඒ පිළිබද පළමු අනතුරු ඇගවීම විපක්ෂ නායකවරයා සිදුකරනු ලැබුවේ 2020 ජනවාරි 24 වන දිනදී ය.

ගුවන්තොටුපලින් සහ වරාය මගින් මේ උවදුර ආ හැකි බවට ඔහු රතු එළිය දැල්වුවද, රජය එහි බැරෑරුම්බව පිලිගැන්ම ප්‍රතික්ෂේප කර සිටියේය. නැවත පෙබරවාරි 5 වන දින ගුවන්තොටුපලවලින් ආසාදිතයන් ඇතුල් නොවීම ගැන සහතික විය හැකිදැයී ඔහු ප්‍රශ්න කළවිට ආරක්ෂිත බව සහතික කරමින් අවශ්‍ය සියළු පරීක්ෂණ ඇතුල්වීම් වලදී සිදුකෙරෙන බවට පිළිතුරු සැපයිණ.ඉන් දින කිහිපයකට පසුව ආසාදිත චීන කාන්තාව සහ සංචාරක මගපෙන්වන්නා හදුනාගනු ලැබිණ. ඉන් අනතුරුව මුඛ ආවරණ, එන්නත් කිරීම්, අවශ්‍ය බෙහෙත් වර්ග කල් ඇතිව ඇණවුම් කිරීමේ අවශ්‍යතාව සහ දැඩි සත්කාර ඒකකයේ ඇදන් අවශ්‍යතාවයන් සදහා සූදානම් වීම වැනි කරුණු අවධාරණය කළවිට, බොරු බිල්ලන් මැවීම නොකරන ලෙස කියමින් විපක්ෂ නායකවරයාට පාර්ලිමේන්තුවේ දී ඇතැම් ඇමැතිවරුන් සමච්චල් කළ අයුරු මගේ මතකයට නැගේ.

නිස කලට,නිසි ලෙසින් නිසි පියවර නොගැනීමේ විපාකයනට රටක් ලෙසින් අද අපි මුහුණ දී සිටින්නෙමු. අද දිනය වනවිට (අගෝස්තු 23) දිනකට කෝවිඩ් නිසා අහිමිවන ජීවිත පිළිබද ආසියාවේ වැඩිම ප්‍රතිශතය වාර්තා කරණුයේ ශ්‍රී ලංකාවයී. ඒ, මිලියනයකට 8.5 ක් ලෙසිනි. ලෝකයේ ඒ අතින් නරකම රටවල් අතර හතරවන ස්ථානයේ ලංකාව අදවන විට සිටී. අපට ඉහළින් වඩාත් නරකම රටවල් ලෙස සිටිනුයේ, අංක එක ලෙසින් දකුණු ඇමෙරිකාවේ ඩොමිනිකා රාජ්‍යයත්, අංක දෙකට යුරෝපයේ ජෝර්ජියාවත්, තුන්වන ස්ථානයට අප්‍රිකාවේ එස්විට්නි රාජ්‍ය්‍යත්ය. ( මේ දත්තයන් මා ලබාගත්තේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ Our world in data මුලාශ්‍ර ‍‍නී.)

ආගමික නායකයන්ගේ, සිවිල් සංවිධානවල, වෛද්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ සහ අදාල ක්ෂේත්‍රයේ සංවිධානයන්හි අනතුරු ඇගවීම් මායිම් නොකරමින් මැතිවරණයකට යාමට නාමයෝජනා කැදවීම් සදහා දිගටම කටයුතු කරගෙන ගිය නමුදු අවසානයේ දී නාම යෝජනා භාරදීම සමග රට වැසීමට සිදුවිණ.

කෝවිඩ් උවදුර උච්ච ස්ථානයක තිබිය දී, ජනතාවගේ අදහස් ඉදිරිපත් කිරීම්වලට ඉඩ නොතබමින් සහ ඒ පිළිබදව සාමකාමී විරෝධතාවන් පවා, කෝවිඩ් උවදුර දඩමීමා කොට ගෙන මර්දනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සදහා 20 වන සංශෝධනය සහ වරාය නගර කොමිෂන් සභා පනත කඩිමුඩියේ සම්මත කර ගැන්මට කටයුතු කරන ලදී. මතුව තිබූ බැරෑරුම් කෝවිඩ් තත්ත්වයට මුහුණදීම සදහා අවශ්‍ය නීතිරීති පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට වඩා මහා හදිසියක් රජයට, මේ පනත් දෙක සම්බන්ධව තිබිණ.

ජනතා අදහස් ඉදිරිපත් වීමකට ඉඩ නොදෙමින් රජය කඩිමුඩියේ සම්මත කරගත් මේ පනත්, අපේ රටේ ස්වාධිපත්‍යයට, නීතියේ ආධිපත්‍යයට මෙන්ම අපේ පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් වලට ඇතිකරනුයේ ඉමහත් බලපෑමකී.

වරාය නගර පනතේ වගන්ති අභියෝගයට ලක් කරමින් ස්වාධිපත්‍යයට, නීතියේ ආධිපත්‍යයට ඇතිකරන අහිතකර බලපෑම් මුල්කොට විපක්ෂය සහ සිවිල් සංවිධාන විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ පවරන ලද නඩු තීන්දු හේතුවෙන් පනතට සංශෝධන 25 ක් එක් කිරීමට රජය එකගවීම තුළ 2/3 ක ඡන්දය හෝ ජනමත විචාරණයකින් තොරව සම්මත කර ගැන්මට අවකාශය ලැබිණ. නඩු තීන්දුවෙන් පසු විවාදය සදහා විපක්ෂය දින කිහිපයක් ඉල්ලා සිටි නමුදු එය නොතකා හරිමින්, විවාදය දින දෙකකට පමණක් සීමා කරමින් පනත සම්මත කර ගැනීමට රජය තම බලය පාවිච්චි කළ අයුරු දැකිය හැකි විය.

ලෝකයේ රටවල් බොහෝමයක ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදය අහිමිව ගොස් ඇත්තේ, හමුදා කුමන්ත්‍රණ සහ කැරලිගැසීම්වලින් පමණක්ම නොවේ. සෙමින් සෙමින්, ක්‍රමාණුකූලව ඒ ප්‍රජාතන්ත්‍රවාදී පැවැත්ම නිමාවකට පත්කර, මෙවැනි ක්‍රියාදාමයන් තුළින් අධිපතිවාදය හිස එස වූ සමාජයන් අපි අපේ ජීවිත කාලය තුළ පසුගිය දසක කිහිපයේදී දැක ඇත්තෙමු. නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය අහිමිකරගත් සමාජයන්හි ජනතාව අද මුහුණ දී ඇති තත්ත්වයන් සහ අදාල අවස්ථාවන්හිදී ඉදිරියට නොඒම හේතුවෙන් අද ඔවුන් පසුතැවිලි වන ආකාරය අපට ලබාදෙන්නේ ලොකු පාඩමකී.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලේකම්වරයා 2020 අප්‍රේල් මාසයේදී කළ අනතුරු ඇගවීම මෙහිදී මගේ මතකයට එයි.

“ කොරෝනා අර්බුදය මානව අයිතීන් පිළිබද අර්බුදයක් බවට වේගයෙන් පත්වෙමින් පවතියී. ඒ මේ උවදුර දඩමීමා කරගනිමින් උවදුරට අදාල නොවන ලෙසින් මර්දනකාරී පියවරවල් වලට යාම හේතුවෙනී.”

මේ අතර “ Dimoc‍racy Under Lockdown ” නමින් වූ Freedom House ප්‍රකාශනය ලෝකයේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජයන්හී ප්‍රජාතන්ත්‍රවාදී පැවැත්මට කෝවිඩ් උවදුර ඇතිකර ඇති අහිතකර බලපෑම ගැන මෙසේ වාර්තාකර ඇත.

“කොරෝනා උවදුරේ බලපැවැත්මත් සමග රටවල් අසූවක ප්‍රජාතන්ත්‍රවාදී පැවැත්ම පිළිබද තත්ත්වයන් සහ මානව අයිතිවාසිකම් පිළිබද තත්ත්වයන් ඉතාම පහත් මට්ටමකට වැටෙමින් පවතී.”

අද අපි ශ්‍රී ලංකාවේ ද කෝවිඩ් උවදුර මුවාවෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් උදුරා ගැන්ම සහ ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක පැවැත්ම අහිමි කිරීම දකිමින් සිටින්නෙමු. පසුගිය දින කිහිපය තුළ අපේ ඇතැම් අධිකරණ විනිසුරුවරුන් පුරවැසි අයිතීන් වෙනුවෙන් දී ඇති නිර්භීත තීන්දු කිහිපය මේ රටේ අධිකරණයේ ස්වාධීනත්වය පිළිබදව 20 වන සංශෝධනයෙන් පසු ඇතිව ඇති වාතාවරණය තුළ යම් තරමක බලාපොරොත්තුවක් ඇතිකරන බව පෙනේ.

කෙසේ වෙතත් පුරවැසි අයිතීන් වෙනුවෙන්ද,ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයේ පැවැත්ම වෙනුවෙන්ද, අනෙක් සියළු වෙනස්කම් පසෙකලා, කල්ලිවාදයන්වලට නොගොස්, ප්‍රජාතන්ත්‍රවාදය සදහාවන කදවුරක් ලෙසින්  ඒ අරමුණ සදහාවන සියළු බලවේග ඒකරාශී වී, මෙම අධිපතිවාදී ප්‍රවණතාවයන් පරාජය කළ යුතුව ඇත.

– ඉම්තියාස් බාකීර් මාකාර් –
පාර්ලිමේන්තු මන්ත්‍රී

RECENT ARTICLES - SINHALA

පාර්ලිමේන්තුවටයි කතානායකතුමාටයි නිදහසක් ලැබිලා

සංචාරක රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියට මෙරට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට නීත්‍යානුකූල සුදුසුකමක් නොමැති බවට ප්‍රකාශ කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුව පිළිබඳ සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී...

අධ්‍යාපන ඇමති සහ කොරියානු තානාපතිනිය අතර හමුවක්

අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සහ මෙරට කොරියානු තානාපති මියොන් ලී මහත්මිය අතර ද්වීපාර්ශ්වික සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. ශ්‍රී ලංකාව හා කොරියාව අතර වෘත්තීය හා...

අභිරහස් ලෙස මිය ගිය හඳුන් දිවියෙකුගේ සිරුරක් තේ වත්තක

තුවාල සහිතව අභිරහස් ලෙස මියගොස් සිටි හඳුන් දිවියෙකුගේ සිරුරක් අද (08) දින හමු වී තිබෙනවා. හැටන් පොලිස් වසමට අයත් වනරාජා තේ වත්තේ ඉහල කොටසේ ළඳු...

POPULAR ARTICLES

වාහන ආනයන බලපත්‍ර හිමිවන රාජ්‍ය සේවකයින් මෙන්න

වයස අවුරුදු 60 සම්පුර්ණවීමෙන් පසුව විශ්‍රාම ගිය ජේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ ජේෂ්ඨ නිලධාරීන් සඳහා තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය...

ග්‍රාම නිලධාරී නව බඳවා ගැනීම් ගැන දැනුම්දීමක්

ග්‍රාම නිලධාරී 3 වන ශ්‍රේණියේ නව බඳවා ගැනීමේ නාම ලේඛනය ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියට අද (06) නිකුත් කර තිබෙනවා. ස්වදේශ කටයුතු රාජ්‍ය...

හෙද සේවය ඇතුළු සෞඛ්‍ය සේවාවල විශ්‍රාම වයස් සීමාවේ වෙනසක්

හෙද කාර්ය මණ්ඩලයේ ඇතුළු ඇතැම් සෞඛ්‍ය සේවාවල විශ්‍රාම යාමේ වයස අවුරුදු 61 දක්වා දිර්ඝ කරන ලෙස ඉල්ලා අමාත්‍ය මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළ බව...