29.7 C
Colombo
Sunday, April 28, 2024

ඉන්දියානුවන්ට සල්ලි නැතුව ශ්‍රී ලංකාවේ සංචාරයට ඉඩ සලසන UPI

- Advertisement -

පශ්චාත් කොවිඩි වසංගත ලෝකයේ ප්‍රතිලාභ ලබා ගැනීමට ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය සූදානමින් සිටින අතර ඉන්දියාව දැනට ශ්‍රී ලංකාවට සංචාරකයින් පැමිණෙන ඉහළම වෙළඳපොළ ලෙස ඉදිරියෙන්ම සිටිනවා. වසරේ මේ දක්වා කාලය තුල මෙරට පැමිණි ඉන්දීය සංචාරකයින් පිරිස 131,523ක්. එය සමස්ත සංචාරක පැමිණීම් අතුරින් සියයට 19ක් වනවා. ඉන්දියාවෙන් මෙරටට පැමිණෙන සංචාරකයින්ට තවදුරටත් පහසුකම් සැලසීමේ ඉදිරිගාමී පියවරක් වශයෙන් ශ්‍රී ලංකාව තුළ Unified Payments Interface (UPI) පදනම් කරගත් ඩිජිටල් ගෙවීම් සක්‍රීය කිරීම සම්බන්ධයෙන් කතා බහක් ඇති වී තිබෙනවා. එම කතාබහ කරලියට පැමිණියේ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ඉන්දීය සංචාරයේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සමග පැවති ද්විපාර්ශ්වික සාකච්ඡාවලින් අනතුරුව එලි දක්වනු ලැබූ ඉන්දු – ශ්‍රී ලංකා ආර්ථික හවුල්කාරිත්ව දැක්මත් සමගයි.

හවුල්කාරීත්ව දැක්මෙහි වෙළඳ, ආර්ථික සහ මූල්‍ය සම්බන්ධතා යන විෂය ක්ෂේත්‍රය යටතේ UPI ශ්‍රී ලංකාව තුල සක්‍රීය කිරීම සම්බන්ධයෙන් සටහන්ව තිබුණා. “දෙරට අතර වෙළඳ ගනුදෙණු පියවීම් සඳහා මුදල් ඒකකයක් ලෙස ඉන්දියානු රුපියල (INR) නම් කිරීමට ගත් තීරණය වඩාත් ශක්තිමත් සහ අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක වාණිජ සම්බන්ධතා ඇති කර ඇති අතර, ව්‍යාපාර සහ සාමාන්‍ය ජනතාව අතර වෙළඳාම සහ ගනුදෙනු තවදුරටත් වැඩිදියුණු කිරීම සඳහා Unified Payments Interface (UPI) පදනම් කරගත් ඩිජිටල් ගෙවීම් ක්‍රියාත්මක කිරීමට එකඟ විය.” මීට අදාල අවබෝධතා ගිවිසුමකට ලංකා පේ සහ NIPL (NPCI International Payments Limited) අතර අත්සන් තැබුණේ දෙරටේ රාජ්‍ය නායකයින් දෙපළ ඉදිරිපිටදීයි.

“ශ්‍රී ලංකාවේ UPI දියත් කිරීමට අත්සන් කරන ලද ගිවිසුම, ෆින්ටෙක් සම්බන්ධතාව වැඩි කරනු ඇත,” ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සමඟ ඒකාබද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අගමැති නරේන්ද්‍ර මෝදි පැවසුවා.
“ශ්‍රී ලංකාව තුළ Unified Payments Interface (UPI) පදනම් කරගත් ඩිජිටල් ගෙවීම් සක්‍රීය කිරීම අනෙකුත් අංශවල තවදුරටත් වර්ධනයට ඉමහත් ලෙස පහසුකම් සපයනු ඇති.” ජනාධිපති රනිල් වික්‍රමසිංහ එහදී කියා සිටියා.
ඉන්දියාවේ සිට මෙරටට පැමිණෙන සංචාරකයන්ට පහසුවක් සැලසීම එහි අරමුණ බවත්, සිංගප්පුරුව සමඟ ද ඉන්දියාව මේ ආකාරයට කටයුතු කර තිබෙන අතර ඉන් දෙරටම විශාල ප්‍රතිලාභ අත්කරගෙන ඇති බවත් විදේශ අමාත්‍ය අලි සබ්‍රි UPI සම්බන්ධයෙන් එවන් ස්ථාවරයක් ප්‍රකාශ කළේ ජනාධිපතිවරයාගේ සංචාරය සම්බන්ධයෙන් කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීයි.

ඉන්දියානු සංචාරකයින්ට මෙම පහසුකම ශ්‍රී ලංකාවේදී ලබා ගැනීමට කොතරම් කල් ගත වනු ඇත්දැයි මාධ්‍යවේදියෙක් මෙහිදී ප්‍රශ්න කළ අතර අමාත්‍යවරයා පැවසුවේ ඒ සඳහා තෙමසක පමණ කාලයක් ගතවනු ඇති බවයි.
“අපි හිතනවා UPI ක්‍රියාවලියට මාස 3ක පමණ කාලයක් ගත වෙයි කියලා. මෙය කිසිවෙකුටත් ඉන්දියානු රුපියල්වලින් ගනුදෙනු කරන්න කියලා බලකිරීමක් නෙවෙයි. නමුත් ඉන්දීය රුපියල ශ්‍රී ලංකාව තුල ව්‍යවහාර මුදල් ඒකකයක් ලෙස නම් කර තිබෙනවා. මිනිස්සු උනන්දුයි තමන්ගේ දේශීය මුදල්වලින් ගනුදෙනු කරන්න. මේක ඉතාමත් යහපත් දෙයක්” අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.
Unified Payments Interface (UPI) යනු කේතයක් සත්‍යාපනය කිරීමෙන් ගනුදෙනු කිරීමට පහසුකම් සලසන ඩිජිටල් වේදිකාවක්. ජංගම දුරකතනයකට බා ගත කර ගන්නා යෙදවුමක් මගින් මෙම ගනුදෙනු සිදු කරනු ලබනවා. එහිදී සිදුවන්නේ මුදල් ගෙවන්නාගේ බැංකුවෙන් මුදල් ලබන්නාගේ බැංකුවට අදාල මුදල් අතත්‍ය ලෙස හුවමාරු වීමයි. ඊට අදාල යටිතල පහසුකම් ස්ථාපිත කිරීම සඳහා වන රාමුව ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අත්සන් කෙරුණු අවබෝධතා ගිවිසුමට ඇතුලත් වනවා. මෙම ක්‍රමය මෙරට තුල සක්‍රීය වීමත් සමග ඉන්දියානු සංචාරකයන්ට තවදුරටත් මෙරට සංචාරය කිරීමේදී මුදල් රැගෙන ඒමේ අවශ්‍යතාවක් පැන නොනගින අතර සිය ජංගම දුරකතනය මගින් කේතයක් සත්‍යාපනය කිරීමෙන් සංචාරයේ සියලු ගනුදෙනු පියවිය හැකි වනු ඇති. මෙම ඩිජිටල් ගෙවීම් වේදිකාව ශ්‍රී ලංකාව තුල සක්‍රීය කිරීමේ ප්‍රමුඛ අරමුණ ගෙවීම් පහසු කරලීම මගින් ඉන්දීය සංචාරකයින් මෙරටට පැමිණීම තවදුරටත් ප්‍රවර්ධනය කිරීමයි. එය වානිජමය වශයෙන් පහසුවක් වීම ඊට හේතු වනවා.

ලොව පුරා රටවල් රැසක් මේ වන විටත් UPI සමග සම්බන්ධ වී සිටිනවා. මෑතකදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ නිල සංචාරයේදී ප්‍රංශය ද මෙම ඩිජිටල් ගෙවීම් පද්ධතිය හා සම්බන්ධ වුණා. ඊට අමතරව සිංගප්පූරුව, භූතානය, මැලේසියාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, එක්සත් රාජධානිය, නේපාලය, රුසියාව, ඕමානය, කටාර්, නෙදර්ලන්තය, බෙල්ජියම, ස්විට්සර්ලන්තය UPI තම රට තුල සක්‍රීය කර තිබෙනවා. මීට අමතරව ඕස්ට්‍රේලියාව, ජපානය, බහරේන්, සෞදි අරාබිය සහ එක්සත් ජනපදය ඇතුලු රටවල් 30ක් සමග සාකච්ඡා සිදු කෙරමින් පවතිනවා.
UPI නිල වශයෙන් දියත් කෙරුණේ 2016 වසරේදීයි. එය භාවිතා කරන්නන් සංඛ්‍යාව, ගනුදෙනු පරිමාස සහ ගනුදෙනු ප්‍රමාණය අනුව ලෝකයේ වඩාත්ම සාර්ථක ගෙවීම් පද්ධතියක් ලෙස සැලකෙනවා. 2022 නොවැම්බර් වන විට, මෙම වේදිකාවට ඉන්දියාව තුළ මාසික සක්‍රීය පරිශීලකයින් මිලියන 300කට වඩා සිටියා. මුළු ඩිජිටල් ගනුදෙනු පරිමාවේ UPI ගනුදෙනුවල අනුපාතය 2018–19 දී 23% සිට 2020–21 දී 55% දක්වා වර්ධනය වූ අතර ගනුදෙනුවකට සාමාන්‍ය වටිනාකම රුපියල් 1,849 ක්. ඒ හරහා 2022 දී සෑම තත්පරයකටම 2,348 කට අධික ගනුදෙනු සංඛ්‍යාවක් සිදුව තිබෙනවා. 2022 සැප්තැම්බර් වන විට, මාසික ගනුදෙනු බිලියන 6.7ක පරිමාවක් සහිත මෙම ඩිජිටල් වේදිකාව සමග බැංකු 360ක් සම්බන්ධ වී සිටියා. 2023 මූල්‍ය වර්ෂයේදී, වාර්ෂික ගනුදෙනුවල වටිනාකම ඩොලර් ට්‍රිලියන 1.7කට ළඟා වූ අතර එයින් ඩොලර් බිලියන 380ක් වෙළඳ ගෙවීම් වනවා. UPI 2023 මැයි මාසයේදී රුපියල් බිලියන 14ක් වටිනා ගනුදෙනු බිලියන 9ක් වාර්තා කළා. මැයි මාසයේදී මාසික UPI ගනුදෙනු සංඛ්‍යාව පෙර වසරට සාපෙක්ෂව සියයට 58කින් ඉහළ ගොස් ඇති අතර එය මෙතෙක් වාර්තා වූ ඉහළම පරිමාව සහ වටිනාකම වනවා.

ලෝකය පුරා රටවල් රැසක් මේ වන විටත් සක්‍රීයව සම්බන්ධ වී සිටින මෙම ගෙවීම් පද්ධතිය සමග කඩිනමින් සම්බන්ධ වී ආර්ථික වාසි අත්පත් කර ගැනීම බලධාරීන්ගේ වගකීමක් වනවා. රටක් වශයෙන් ශ්‍රී ලංකාව පමා වන්නේ නම් එම ස්ථානය අත්පත් කර ගැනීමට තවත් රටවල් රැසක් බලා සිටින බව අප අමතක කළ යුතු නැහැ. මෙවැනි ව්‍යාපෘති ක්‍රියාවට නැංවීමේදී ප්‍රබලතම අභියෝගය පැමිණෙන්නේ රට තුළින්ම වන අතර ඒවා කලමනාකරණය කර ගැනීම ආණ්ඩුවේ කාර්යයක් වනවා. ඒ නොමැතිව දේශපාලන වේදිකාවේ සිල්ලර කතා මත පදනම්ව ආර්ථික වාසි අත්කර දෙන ව්‍යාපෘති අතරමග අත්හැර දැමීම කිසි විටෙක ඥානාන්විත වන්නේ නැහැ. රටක් ලෙස අපිට වැඩිපුර ඇත්තේ එවැනි නිදසුන් මිස අභියෝග කලමනාකරණය කර ගනිමින් ක්‍රියාවට නැංවීමේ නිදසුන් නොවන බවද මෙහිදී සිහි තබා ගත යුතුයි.

RECENT ARTICLES - SINHALA

ලංකාවට පාකිස්තානයෙනුත් ලොකු ලූනු

පාකිස්තානයෙන් ලොකු ලූනු ආනයනය කිරීමට ශ්‍රී ලංකාව යළිත් පියවර ගෙන තිබෙනවා. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කළේ පාකිස්තානය විසින් ලොකු ලූනු අපනයනය සඳහා පනවා...

ව්‍යාපාරිකයෙක් කටුනායකදී අත්අඩංගුවට

විදෙස් ගමන් තහනමක් පනවා ඇති ව්‍යාපාරිකයෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකාර ව්‍යාපාරිකයා ව්‍යාජ ගමන් බලපත්‍රයකින් තායිලන්තය බලා පිටත්ව යාමට උත්සහ කළ...

මාස හතරට ඩෙංගු රෝගීන් 21,000ක්

වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් 21,055 දෙනෙකු වාර්තාවී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා. ඉන් වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තාවී...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට සුපිරි ජයක්

විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබාගැනීමේ වටයේ පළමු තරගයේ ජය හිමිකරගැනීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද (24) සමත්වුණා. ඒ ලකුණු 67කින් තායිලන්ත...