ආණ්ඩුවෙන් යන්නේ නෑ – හිටපු ජනපති

රජයෙන් ඉවත් නොවන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

ඒ සම්බන්ධයෙන් පැතිරයන ප්‍රකාශ අසත්‍ය බවත් ඒවා ප්‍රතික්ෂේප කර සිටින බවත් ඔහු පවසනවා.

එමෙන්ම, හෙට (02) දිනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවත්සරය පවතින බවත් එහිදී තමන් කරන විශේෂ කතාවේදී මේ සම්බන්ධයෙන් අදහස් පළ කරන බවත් ඔහු ප්‍රකාශ කර සිටිනවා.

කෙසේ වෙතත්, එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පවසන්නේ විකල්ප ආණ්ඩුවක් සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගොඩනගන්නේ කෙසේද යන්න පිළිබඳව සාකච්ඡා පවත්වා ඇති බවයි.

පුළුල් වාමවාදී පෙරමුණක් බිහිකරන බවත් ඒ සඳහා සියලු දේශමාමක, ප‍්‍රගතිශීලි පාර්ශව සමග සාකච්ඡා කරන බවත් එහිදී ඔහු පවසා සිටියා.

තවද, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වයෙන් රජයන් බිහි කිරීමට පදනම් වු සන්ධාන තිබූ බවත් නැවතත් පොදුජන එක්සත් පෙරමුණ සහ එක්සත් ජනතා නිදහස් සන්ධානය සක්‍රීය කිරීමට ලංකාවේ සියලුම වාමවාදී දේශප්‍රේමි ජාතිකවාදි පක්ෂ සහ පාර්ලිමේන්තුවෙන් පිටත සිටින පක්ෂද සමඟ එම සන්ධානය ගොඩනැගීම සඳහා වු තීරණයක් මධ්‍යම කාරක සභාවෙන් ගනු ලැබූ බවත් ඔහු පවසා සිටියා.

ඒ අනුව, ඉදිරියේ දී එම කටයුතු සිදුකිරීමට බලාපොරොත්තු වන බවයි හෙතෙම එහිදී පවසා සිටියේ.