33 C
Colombo
Saturday, May 4, 2024

කැරලිකාර බංගලියන් හමුවේ ශ්‍රී ලංකාවට පෙරළිකාර ජයක්

- Advertisement -

T20 ලෝක කුසලාන තරඟාවලියේ සුපිරි 12 දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වූ පළමු තරඟයේදි බංගලාදේශ කණ්ඩායම කඩුළු 05කින් පරදවමින් විශිෂ්ඨ ජයක් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත් වුණා.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සාජා ක්‍රීඩා පිටියේ පැවති තරඟයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුවෙන් පන්දුවට පහරදීමට බංගලාදේශයට ආරාධනා කළා.

කෙසේ වෙතත් එම තීරණය අභියෝගයට ලක් කළ බංගලාදේශ කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුළු 04ක් පමණක් දැවී ලකුණු 171ක් ලබාගැනීමට සමත් වුණා.

බංගලාදේශය වෙනුවෙන් සාර්ථක ආරම්භයක් ලබාගත් ලීටන් දාස් සහ මොහොමඩ් නයීම් පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 40ක් එක් කළා.

තරඟයේ 05 වැනි පන්දුවාරයේදි ලහිරු කුමාර විසින් ලීටන් දාස් දවාගැනීමට සමත් වූ අතර එහිදි ලීටන් දාස් හා ලහිරු කුමාර අතර යම් ගැටුම්කාරි තත්ත්වයක්ද ඇති වුණා.

අනතුරුව ලකුණු 10ක් ලබාසිටි ශකිබ් අල් හසන්ගේ කඩුල්ල චාමික කරුණාරත්න විසින් දවාගත්තද ඉන් අනතුරුව මොහොමඩ් නයීම් සමග එක්වු මුෂ්ෆීකර් රහීම් තෙවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 73ක සම්බන්ධතාවයක් ගොඩනැගුවා.

නියමිත පන්දුවාර 20 අවසානයේ බංගලාදේශ කණ්ඩායම කඩුළු 04ක් දැවී ලකුණු 171ක් ලබාගැනීමට සමත් වුණා.

පන්දු යැවීමේදි ශ්‍රී ලංකා පන්දු යවන්නන් කැපී පෙනෙන දක්ෂතාවයක් දැක්වීමට සමත් නොවු අතර චාමික කරුණාරත්න, බිනුර ප්‍රනාන්දු සහ ලහිරු කුමාර අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියා.

පිළිතුරු ඉනීම ඇ‍රඹූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු කුසල් ජනිත් යළිත් අසාර්ථක වූ අතර ඔහු පළමු පන්දුවාරයේ සිව්වන පන්දුවටම 01 ලකුණකට දැවීගියා.

කෙසේ වෙතත් අනතුරුව පැතුම් නිස්සංක සමගින් එක්වූ චරිත් අසලංක ශ්‍රී ලංකා ඉනිම ස්ථාවර තත්ත්වයකට රැගෙන ආ අතර දෙවැනි කඩුල්ල වෙනුවෙන් ඔවුන් දෙදෙනා අතර 69ක සම්බන්ධතාවයක් ගොඩනැගුණා.

පැතුම් නිස්සංක පන්දු 21ක් තුළ ලකුණු 24ක් රැස් කර ගැනීමට සමත් වුණේ එක් හයේ පහරක් හා හතරේ පහරක් සමගින්.

කෙසේ වෙතත් තරගයේ 09 වැනි පන්දු වාරයේදී පැතුම් නිස්සංක සහ අවිශ්ක ප්‍රනාන්දු දවාගැනීමට ශකිබ් අල් හසන් සමත් වූ අතර වනිදු හසරංගද ලකුණු 06කට දැවී යාමත් සමග තරගය දෙපසටම විවෘත වුණා.

නමුත් අනතුරුව චරිත් අසලංක සමගින් එක්වූ භානුක රාජපක්ෂ ශ්‍රී ලංකා ඉනීම ජයග්‍රාහී මාවතට ගෙන ගියේ ලකුණු 76ක සම්බන්ධතාවයක් ගොඩ නගමින්.

පන්දු 31කදී වේගවත් ලකුණු 53ක් රැස්කළ භානුක රාජපක්ෂගේ ඉනිම හයේ පහර 03කින් සහ හතරේ පහර 03කින් වර්ණවත් වුණා.

තරගයේ 16 වැනි පන්දුවාරයේදි භානුක රාජපක්ෂ හයේ පහර 02ක් සහ හතරේ පහර 02ක් එල්ල කරමින් තරගය සම්පුර්ණෙන්ම ශ්‍රී ලංකාව දෙසට හරවා ගත්තා.

එසේම සිය දැවීයාමේදි ලහිරු කුමාර සමග ගැටුමකට මැදිවූ බංගලාදේශ ආරම්භක පිතිකරු ලීටන් දාස් පන්දු රැකීමේදි පහසු උඩපන්දු දෙකක් අතහැරීමද ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රාහණය පහසු කළා.

විශිෂ්ඨ වගකීම් සහගත පිතිහරඹයක නිරත වූ 24 හැවිරිදි යොවුන් ක්‍රීඩක චරිත් අසලංක පන්දු 49ක් තුළ නොදැවී ලකුණු 80ක් රැස් කළේ සිය ඉනිම හතරේ පහර 05කින් සහ හයේ පහර 05කින් අලංකාර කරමින්.

ඒ අනුව පන්දුවාර 18.5ක් තුළ කඩුලු 05ක් දැවී ලකුණු 172ක් ලබාගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රාහී ඉලක්කය පසුකර ගිය අතර තරගයේ වීරයා සම්මානය චරිත් අසලංක විසින් දිනාගත්තා.

මෙම ජයග්‍රාහණයත් සමගින් ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු ඛාණ්ඩයේ දෙවැනි ස්ථානයට පැමිණියේ ප්‍රසාද ලකුණු 02ක් දිනා ගනිමින්.

ශ්‍රී ලංකාව සහභාගි වන මීළග තරගය එළඹෙන 28 වනදා පස්වරුවේ ඕස්ට්‍රේලියාව සමග පැවැත්වීමට නියමිතයි.

RECENT ARTICLES - SINHALA

වාද්දුවේ පොලිස් වෙඩිතැබීමේ තවත් තොරතුරු එළියට

වාද්දුව, මොල්ලිගොඩ ප්‍රදේශයේ හෝටලයක් අසල අද (04) දහවල් වෙඩි තැබීමක් සිදු කර තිබුණා. මෙම වෙඩි තැබීම පොලීසිය විසින් සිදු කරන ලද්දක් බවට මේ වන විට...

රනිල් – බැසිල් හමුවක් අද

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා අතර හමුවක් අද (04) සිදුවීමට නියමිතව තිබෙනවා. එම හමුව අද පස්වරු 4.30ට...

ග්‍රාම නිලධාරීන් අනිද්දා ලෙඩ වෙයි

ග්‍රාම නිලධාරීන් මුහුණදී සිටින ගැටලු රැසකට වහාම විසඳුම් දෙන ලෙස ඉල්ලා ලබන 6 සහ 7 දෙදින අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයක් ක්‍රියාත්මක කරන...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...