31 C
Colombo
Tuesday, April 30, 2024

පොලීසිය එන්නෙ මොකාටද ?

- Advertisement -

මෙරට රාජ්‍ය ආයතන අතුරින් ශිෂ්ටත්වයට වඩා ඈතින් ඉන්නා ආයතන අතර අග්‍රස්ථානය ගන්නේ ශ්‍රී ලංකා පොලිසිය බව අපද තවත් බොහෝ දෙනෙක් මෙන් අවස්ථා ගණනාවකදී ප්‍රකාශ කර ඇත්තෙමු. හේතු සාධක සහිතව ය. කුඩු පැකට් එකක් දමා ඇතුළට දැමීමට කරන තර්ජනයේ සිට පොලිස්පති විසින් සෝපාන ක්‍රියාකරුගේ කණට ගැසීම හරහා මාංචු දමා ගෙන යන සැකකරුවන් ආයුද උදුරන්නට ගොස් වෙඩි කා නසින තැන් දක්වා වපසරියක ඒ හේතු සාධක විහිදී යයි. ඒ අනුව ශ්‍රී ලංකා පොලිසියේ ක්‍රියාකාරකම් දෙස ආන්තික නොවන ඇසකින් බැලීමට නම් ඔවුන් ශිෂ්ටකරණ මාවතේ තව බොහෝ දුර යායුතු වෙයි. එබැවින් නිතැතින්ම අපට ශ්‍රී ලංකා පොලිසියේ ක්‍රියාකාරකම් දෙස බැලීමට සිදුවන්නේ සැකමුසුව ය.

උස් තැන දැක හැකිළීමත් මිටි තැන් දැක පුම්බා සිටීමත් ඔවුන්ගේ නිසඟ ලකුණක් බැවින්, තත්කාලීනව රටේ පාලනය කෙරේ නැමී කටයුතු කිරීම – රාජ්‍ය කෙරෙහි නොව ආණ්ඩුව කෙරෙහි නැමී කටයුතු කිරීමේ ඉතිහාසය නිසා වර්තමානයේ ඔවුන්ගේ ක්‍රියාකාරිත්වය දෙස ද එසේ බැලීම යුක්තියුක්ත ය. ඉදින් දැන් ක්‍රියාත්මක වන්නේ වංචක ජනපති රනිල්ගේ පොලිසියයි. 2021 පත්වීම් ලැබූ ස්ථානාධිපතිවරුන් 184 දෙනාගෙන් දෙදෙනෙක් හැරෙන්නට 182ක් වන පොලිස් ස්ථානවලට පත් කැර ඇති ස්ථානාධිපතිවරුන් දේශපාලක මැදිහත්වීම් මත පත් කළ අයවලුන් බව පසුගිය දා පොලිස්පතිවරයාම මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජනරාල් (විශ්‍රාමික) ජගත් අල්විස්ට ලිපියකින් දන්වා තිබු බැවින් මේ චෝදනා පදනම් විරහිත ඒවා නොවේ.

පසුගිය සමය යනු මෙරට දේශපාලන ඉතිහාසයේ පෙර නොවූ විරූ සමයකි. බලයෙන් ආඪ්‍යව සිටි ජනපතිවරයෙක් කුක්කුරයෙකු සේ පළවා හරින්නට ජනපෙළගැස්මක් ඇති වූ සමයකි. ජනපීඩාවන් උහුලනු නොහැකි වූ අතිබහුතරයක් ජනයා සකල කොන්දේසි විසි කර දමා ජනතා අරගලවලට එක් වූවෝ ය. එහිදී රාජ්‍ය සතු මර්දන යාන්ත්‍රණයේ උපකරණ වූ පොලිසිය සිද්ධීන් කිහිපයක් (රඹුක්කන් වෙඩි තැබීම ආදී) හැරෙන්නට සමස්ත වශයෙන් සිටියේ පාදයක් පසුපසට තබා ආරක්ෂාකාරීව ක්‍රියාකරමිනි. ජන මහෝඝයේ තරම සියලු මර්දන බලයන් සුනුවිසුණු කරන්නට තරම් එඩියෙන් ගැලීම ඊට හේතුවන්නට ඇත.

කෙසේ වෙතත්, ජනඅරගලයේ වාසිය කපටකමින් වටවංගුවක් ගසාගෙන ජනපති බවට පත් වූ රනිල් වික්‍රමසිංහ පාලනයට පත් වූ විගසම මේ පෙරට තැබූ පය කිහිප ගුණයක් ඉදිරියට තබන්නට ශ්‍රී ලංකා පොලිසිය කටයුතු කරන බව පෙනී යයි. පසුගිය දා පොලිසිය විසින් පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාව එහි ආරම්භය ලෙස ගිණිය හැකි ය. අරගල අතර රෝසමල් පිදුවද, ඛාද්‍ය භෝද්‍යයෙන් සංග්‍රහ කළ ද, ව්‍යවස්ථාපිත අයිතීන් ගැන දේශනා දුන්න ද මර්දන යාන්ත්‍රණය යනු මර්දන යාන්ත්‍රණයම මිස අනෙකක් නොවන බව අරගලයේ සහෝදරත්වයට ද නැවත සිහි කැඳවිය යුතු ය.

ජනයා පොලිසියේ අධිකාරිය නොසලකා ක්‍රියා කරන ආකාරයක් දකින්නට ඇති බවත්, නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීම කළ යුතු බවත් උක්ත මාධ්‍ය සාකච්ඡාවේදී පැවසුණි. ජනයා පොලිසියේ අධිකාරිය නොසලකා ක්‍රියා කරන තැනට පත් වූයේ අනෙකුන්ගේ වරදක් නිසා නොවේ. සියලු තන්හි පොලිසියේ ම ක්‍රියාකාරිත්වය නිසා ය. නෛතික ප්‍රතිපාදන කබරයා තලගොයා න්‍යායෙන් භාවිත කරමින් කටයුතු කළ නිසා ය. මෑතම සිදුවීම් සලකන්නේ නම් පිරවුම්හල් බොහෝමයක ඔවුන්ගේ ක්‍රියාකලාපය ඩිජිටල් යුගයේ වැසැංගීමට නොහැකි විය.

තත්වය මෙසේ වෙද්දී..
මෑත කාලයේ පෙර නොදක්නා තරම් වීදි ගාණේ හංදි ගාණේ මිනීමැරුම් සිදු වී යයි. බිය සැක නොමැතිව සන්සුන් ගමනින් පැමිණෙන වෙඩික්කරුවන් මිනිසුන්ගේ හිසටම වෙඩි තබා පළා යයි. කොළඹ තදාසන්න වෙරළවලට මිනී පාව එයි. දවසකට කිහිප තැනක වෙඩි තැබීම් වාර්තා වෙයි. මේ ලියන අද (අගෝස්තු 4) ස්ථාන කිහිපයක වෙඩි තැබීම් වාර්තා වූ අතර අධිකරණයක විත්ති කූඩුවක සිටි විත්තිකරුවෙකුට වෙඩි තැබූ වෙඩික්කරුවෙකු පළා ගිය පුවත ද වාර්තා විය. බැලූ බැල්මට කැලෑ නීතිය රජ කෙරෙන්නේ යැ යි කිසිවෙකුට කිව හැකි මට්ටමට මේ සිදුවීම් ද සමපාත වී සිදු වෙයි.
මෙසේ මහජනයාගේ ජීවිත භය වැඩි වූ කල පොලිසියෙන් නීතිය ක්‍රියාත්මක කරන්නැයි ආයාචනා කරන තැනකට යනු ඇතැයි සිතිය හැකි ය.

මේවා සිදුවන්නේ සිනමාපටයක මෙනි. පොලිසියේ අධිකාරිය ජනයා ගණන් නොගන්නා තත්වයකට පත්ව තිබිණැයි කියැවුණ අතර වංචක ජනපති පත්වූ හාම ඔවුන් නීතිය ස්ථාපිත කරන්නැයි කියමින් ක්‍රියාමාර්ග ගනිති. ඒ අතර කැළෑ නීතිය රජ කෙරෙන්නේ යැ යි සිතෙන තරමට හංදියක් පාසා වෙඩි තැබීම් සිදු වෙයි. සාධාරණීකරණයේ රංගයක් වේදිකාගත වෙන බව පෙර නාට්‍ය ගැන දන්නා ප්‍රේක්ෂකයන්ට සැඟවීම අසීරු ය.

ජනාවේගයේ වාසිය සටකපට ලෙස උපයෝගී කරගනිමින් පත් වූ වංචක ජනපති රනිල් වික්‍රමසිංහ ඉතා හොඳින් ව්‍යවස්ථානුකූල ක්‍රීඩාව කරමින් යන බවක් පෙනේ. දැන් විවිධ නෛතික ප්‍රතිපාදන ඉදිරියට දමමින් ජනඅරගලයට නායකත්වය දුන්, සහයෝගය දුන්, සහභාගි වූ පිරිස අත්අඩංගුවට ගන්නා බව පෙනේ. අලුත්ම ගොදුර ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් ය.

නෛතික ප්‍රතිපාදනවලට මුවා වී ශ්‍රී ලංකා පොලිසිය ජනයා මර්දනය කළේ අද ඊයේක නොවේ. එසේ ම 182ක් දේශපාලන පත්වීම් ලැබූ පොලිස් ස්ථානාධිපතිවරු ස්වාධීනව කටයුතු කරන්නේ යැ යි කියන්නේ නම් සංසර්ගයේ යෙදෙන්නේ කන්‍යාභාවය රකින්නැයි කියාද කිව හැකි වෙයි. ශ්‍රී ලංකා පොලිසිය එන්නේ මොකාටද කියා පැහැදිලි ය. පිටුපස ඉන්නේ මොකාද කියාත් පැහැදිලි ය. සියලු මර්දනයන් නෛතික ප්‍රතිපාදනවලට මුවාවී කරන්නට ගොරකා දඩමස් කරන මහත්වරුන්ට අමුතුවෙන් කියා දිය යුතු නැත. මහත්වරුනි, ඔබට ඉතිහාසයට වෙට්ටු දැමීමට නොහැකි බව මතක තබා ගන්නේ නම් යෙහෙකි ය. වානේ පන්නරය ලබන්නේ, ගින්නෙන් සහ ජලයෙන් මිස රෝසමල්වලින් නොවේ.

~ සඳුන් ප්‍රියංකර විතානගේ –

RECENT ARTICLES - SINHALA

කෙහෙළියගේ පෙත්සමේ තීන්දුව කල් ගිහින්

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය විසින් තමන්ව නඩු විභාගය අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට දුන් නියෝගය බලරහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා...

රතුපස්වල තීන්දුව අද

පිරිසිදු ජලය ඉල්ලා උද්ඝෝෂණය කළ ගම්පහ රතුපස්වල ප්‍රදේශවාසීන්ට වෙඩි තබා පුද්ගලයින් තිදෙනෙකු ඝාතනය කර තවත් 45 දෙනෙකුට තුවාල කිරීම සම්බන්ධයෙන් යුද හමුදා බ්‍රිගේඩියර්වරයෙකුට සහ...

පාඨලී CID යට

එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා මීට සුළුවෙලාවකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණ තිබෙනවා. රත්නපුර ප්‍රදේශයේ පැවති පක්ෂ රැස්වීමක දී...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...

විස්සයි විස්ස ක්‍රිකට් ඉතිහාසය අලුත් කළ පන්ජාබ් කිංග්ස්

පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් ඉතිහාසයේ ඉහළම ලකුණු හඹා යෑමේ වාර්තාව පන්ජාබ් කිංග්ස් කණ්ඩායම තමන් සතු කර ගත්තා. ඒ, ඉන්දීය ප්‍රිමියර් ලීග් පන්දුවාර විස්සයි විස්ස...