29 C
Colombo
Sunday, May 5, 2024

ඉන්දියානු රුපියල පිළිගැනීම වැඩකට ඇති දෙයක් ද?

- Advertisement -

ශ්‍රී ලංකාව මෙම දුෂ්කර ආර්ථික මොහොතේ සිය දැවැන්ත අසල්වැසියාගේ උපකාරය ලබාගනිමින් අන්තර්ජාතික වෙළඳ ගනුදෙනු ක්ෂේත්‍රයේ තවත් විශාල ගමනක පළමු පියවර තැබීමට පසුගිය සතියේ කටයුතු කළේය. ඒ, සාර්ක් කලාපය(SAARC) තුළ වෙළෙඳාම සහ සංචාරක ප්‍රවර්ධනය සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඉන්දියානු රුපියල (INR) ‘නම් කරන ලද විදේශ මුදල් ඒකකයක්’ ලෙස මෑතකදී පිළිගැනීමත් සමඟ, ලංකා බැංකුව (BOC) එහි චෙන්නායි ශාඛාව සමඟ ඉන්දියානු රුපියල ඔස්සේ ගනුදෙනු කළහැකි පළමු වොස්ට්‍රෝ ගිණුම vostro account විවෘත කරමිනි. කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය විසින්ද මෙම සුවිශේෂී අවස්ථාව නිල වශයෙන් නිවේදනය කර තිබුණු අතර, මහ කොමසාරිස් ගොපල් භාග්ලේද අදාළ ගිණුම් විවෘත කිරීමේ අවස්ථාවට එක්වූ බව මහ කොමසාරිස් කාර්යාලයේ ට්විටර් ගිණුමේ සටහන් කර තිබිණි. ශ්‍රී ලංකාවේ බැංකු පද්ධතිය තුල වොස්ට්‍රෝ ගිණුම් තවදුරටත් ව්‍යාප්ත කිරීම පිළිබඳව සහ ඊට අදාළ කරුණු සම්බන්ධයෙන් ඉන්දියානු රාජ්‍ය බැංකුවේ දකුණු ආසියානු කලාපීය ප්‍රධානී විකාස් ගෝයල් සමඟ ඉන්දියානු මහ කොමසාරිස් ගෝපාල් භග්ලේ අතර විශේෂ සාකච්ඡාවක්ද පවත්වා ඇත.මෙම නව මුලපිරීමත් සමග, ශ්‍රී ලාංකිකයන්ට දැන් සෘජුවම ඉන්දියානු රුපියල්වලින් වෙළෙඳ ගනුදෙනු සිදු කිරීමට හැකි වී ඇති අතර එමගින් එක්සත් ජනපද ඩොලර් භාවිත කරමින් සිදුකෙරෙන ගනුදෙනුවලදී මතුවන, ඩොලර් හිඟවීමේ ගැටලු මගහරවාගත හැකිය.

ඒ නිල වශයෙනි. එහෙත් පසුගිය අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකා විසින් ඉන්දීය රුපියල(INR) ශ්‍රී ලංකාව තුල නිල වශයෙන් පිළිගත් විදේශ මුදල් ඒකකයක් නම්කිරීමත් සමග නොනිල වශයෙන් තවත් දේශීය බැංකු කිහිපයක්, ඉන්දීය බැංකු සමග එක්ව මෙම වොස්ට්‍රෝ ගිණුම් හරහා, දැනටමත් දෙරට අතර වෙළඳ ගනුදෙනු වෙනුවෙන් සහාය ලබාදෙමින් සිටින බවද ඉන්දීය ජනමාධ්‍ය වාර්තා කරයි. එම වාර්තාවලට අනුව රුසියාව, මොරිෂස් සහ ශ්‍රී ලංකාව සමඟ සිය රුපියල භාවිත කරමින් වෙළඳාමට පහසුකම් සලසා ඇති ඉන්දීය රජය, තවත් රටවල් ගණනාවක් සමඟ එවැනි අවස්ථා ගවේෂණය කරන ලෙස වෙළඳ ආයතන සහ බැංකුවලින් ඉල්ලා ඇත. ඒ අනුව ඉන්දියානු බැංකු දැනටමත් ඉන්දියානු රුපියලේ වෙළඳ විධිවිධානය ක්‍රියාත්මක කරමින් මෙම රටවල් තුනේ බැංකු සමඟ විශේෂ රුපියල් වොස්ට්‍රෝ ගිණුම් (SRVA) විවෘත කර තිබේ. මෑතකදී, ඉන්දියානු රාජ්‍ය බැංකුවේ අනුබද්ධ ආයතනයක් වන SBI Mauritius Ltd සහ ශ්‍රී ලංකා මහජන බැංකුව SRVA ගිණුම් විවෘත කර තිබේ. මීට අමතරව, ලංකා බැංකුව චෙන්නායි හි ඉන්දියානු අනුබද්ධිත ආයතනයක ගිණුමක් විවෘත කර තිබේ. තවද ඉන්දීය යුනියන් බැංකුව රුසියාවේ රොස් බැංකුවේ විශේෂ රුපියල් ගිණුමක් විවෘත කර ඇති අතර, චෙන්නායි හි පිහිටි ඉන්දියන් බැංකුව කොළඹ පිහිටි එන්ඩීබී බැංකුව සහ සෙලාන් බැංකුව ඇතුළු ශ්‍රී ලංකාවේ බැංකු තුනක එවැනි ගිණුම් විවෘත කර ඇත.

මෙම වොස්ට්‍රෝ ගිණුම් හරහා අපනයන, ආනයන සහ ප්‍රේෂණ ඇතුළු සියලුම ජංගම ගිණුම් ගනුදෙනු ශ්‍රී ලාංකික පදිංචිකරුවන් සහ අනේවාසිකයින් අතර සිදු කළ හැකිය. එසේම බැංකුකරුවන් පෙන්වා දෙන්නේ ශ්‍රී ලාංකිකයන් අතර ගනුදෙනු සිදුකිරීමේදී අනිවාර්යයෙන් බැංකු මාර්ග පමණක් භාවිත කළයුතු බවත්, එහිදී අවසරලත් ක්‍රියාකාරකම් සඳහා පමණක් අවසර ලැබෙන බවත්ය.

දෙරට අතර ආර්ථික සහ වාණිජ හවුල්කාරිත්වය ඉහළ නැංවීමේ අරමුණින් අපනයනකරුවන්ට සහ ආනයනකරුවන්ට සහාය වීම පිණිස, පෙරකී ලෙස, මෙලෙස ඉන්දීය රුපියල ශ්‍රී ලංකාවේ නිල වශයෙන් පිළිගත් මුදල් ඒකකයක් ලෙස නම්කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව පසුගිය අගෝස්තු මාසයේදී පියවර ගත්තේය. එහිදී ඉන්දීය රුපියලට අමතරව, ඕස්ට්‍රේලියානු ඩොලර්, නෝර්වීජියානු ක්‍රෝනර්, කැනේඩියානු ඩොලරය, පවුම් ස්ටර්ලින්, චීන රෙන්මින්බි (යුවාන්), සිංගප්පූරු ඩොලර්, ඩෙන්මාර්ක ක්‍රෝනර්, ස්වීඩන් ක්‍රෝනර්, යුරෝ, ස්විස් ෆ්‍රෑන්ක්, හොංකොං ඩොලර්, තායි බාට්, ජපන් යෙන්, එක්සත් ජනපද ඩොලරය සහ නවසීලන්ත ඩොලර් ශ්‍රී ලංකාව තුල සන්තකයේ තබාගත හැකි විදේශීය මුදල් ඒකක ලෙස මහ බැංකුව විසින් පිළිගෙන තිබේ. ඉන් අනතුරුව ශ්‍රී ලංකා මහ බැංකුව ඉන්දියානු රුපියල (INR) ශ්‍රී ලංකාවේ නම් කරන ලද විදේශ මුදල් වර්ගයක් ලෙස වර්ගීකරණය කිරීමට ඉන්දීය සංචිත බැංකුවේ (RBI) අනුමැතිය ඉල්ලා සිටි අතර, මීට සති දෙකකට පෙර, ඉන්දීය පාර්ශ්වය එම අනුමැතිය ලබාදී තිබිණි.

ඉන්දීය ජනමාධ්‍ය විසින් වාර්තා කර ඇති ආකාරයට, මෙම අනුමැතියට සමගාමීව, දැන් ශ්‍රී ලාංකිකයන්ට ඇමරිකානු ඩොලර් 10,000 ක්(ඉන්දියානු රුපියල් ලක්ෂ 8.14ක්) වටිනා ඉන්දියානු රුපියල්(INR) භෞතික ස්වරූපයෙන් සිය සන්තකයේ තබාගැනීමේ හැකියාවද ඇත. ඊට අමතරව, ඉන්දීය රුපියල්(INR) මුදල් ඒකකය, ලොව වෙනත් රටවල මුදල් බවට පරිවර්තනය කිරීමට මෙමගින් ශ්‍රී ලාංකිකයන්ට හැකියාව ලැබේ.මෙහි ඇති වඩාත්ම විශේෂත්වය වන්නේ ශ්‍රී ලාංකිකයන්ට දැන් ඉන්දියානු රුපියල් වෙනත් මුදල් ඒකකයකට පරිවර්තනය කිරීමට හැකිවීමයි. මෙම පහසුකම සක්‍රීය කිරීම සඳහා ශ්‍රී ලංකා වාණිජ බැංකුවක ‘වොස්ට්‍රෝ'(INR vostro) නම් ගිණුම් විශේෂයක් විවෘත කිරීම සඳහා ඉන්දියානු බැංකුවක් සමඟ ගිවිසුමක් අත්සන් කළ යුතුය.
ඉන්දීය සංචිත බැංකුව විසින් මෙලෙස සිය මුදල් ඒකකය සම්බන්ධයෙන් ලබාදී ඇති නව අනුමැතියෙන් අදහස් වන්නේ, ශ්‍රී ලාංකිකයන් සන්තකයේ ඇති ඉන්දීය රුපියල්, ඉදිරියේදී ඉන්දියාව සමග සිදුකරන සියලුම ආකාරයේ ආනයන අපනයන ඇතුළු වෙළඳ ගනුදෙනු සඳහා, එක්සත් ජනපද ඩොලරය වෙනුවට භාවිත කළ හැකි බවයි.

“ඉන්දියාවේ අපනයනය කෙරෙහි අවධානය යොමුකරමින්, ගෝලීය වෙලඳාම වර්ධනය ප්‍රවර්ධනය කිරීම සහ ඉන්දීය රුපියල කෙරෙහි ගෝලීය වෙළඳ ප්‍රජාවේ වැඩිවන උනන්දුව වෙනුවෙන් මෙම යාන්ත්‍රනය සකස් කර තිබේ. ඇතැම් රටවල් සමඟ වෙළඳාම සඳහා එක්සත් ජනපද ඩොලරය වැනි ගෝලීය මුදල් භාවිත කිරීම වළක්වන නීතිරීති හේතුවෙන් ගැටළු උද්ගතව ඇති අතර, එවැනි ගැටළු වළක්වා ගැනීම සඳහා ආනයනකරුවන්ට සහ අපනයනකරුවන්ට පහසුකම් සැලසීමට මෙම යාන්ත්‍රණය ඔස්සේ අපේක්ෂා කෙරේ” යැයි ඉන්දීය සංචිත බැංකුව පෙන්වාදෙයි.

ලෝකයේ පස්වන විශාලතම ආර්ථිකය වන ඉන්දියාව ශ්‍රී ලංකාවේ ප්‍රධාන වෙළඳ හවුල්කරුවෙකු වන හෙයින්, මෙය ශ්‍රී ලංකාව මුහුණදී සිටින දැවන්ත ආර්ථික අර්බුදය හමුවේ මෙරටට ඇති විශාල සහනයක් වනු නොඅනුමානය. 2021-2022 මුල්‍ය වර්ෂයේ දී ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ද්විපාර්ශ්වික වෙළඳාම එක්සත් ජනපද ඩොලර් බිලියන 6.81 ක් විය. එහිදී ආනයනයට වඩා වැඩි භාණ්ඩ හා සේවා ප්‍රමාණයක් ඉන්දියාවෙන් අපනයනය කර තිබේ. එහි අදහස වන්නේ ඉන්දියාවෙන් සිදුකෙරෙන සියලුම භාණ්ඩ අපනයනයන් වෙනුවෙන් මින් ඉදිරියට එක්සත් ජනපද ඩොලර් සොයමින් ශ්‍රී ලංකාව කරදර විය යුතු නැති බවයි. අනෙක් අතට, දෙරට අතර වේගයෙන් ගොඩනැගෙන ද්විපාර්ශ්වික වෙළඳ සබඳතා හමුවේ, ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයෙන් මිදීම වෙනුවෙන් අනාගතයේ රුසියානු බොරතෙල් ඉන්දියාව හරහා මෙරටට ආනයනය කිරීමේ ක්‍රියාවලියක් වුව, ඩොලරයට සාපේක්ෂව ඉන්දීය රුපියල හරහා මෙම ක්‍රමවේදය ඔස්සේ ක්‍රියාත්මක කළ හැකිය. ඒ අනුව නිදහසින් පසුව ශ්‍රී ලංකාව මුහුණදී සිටින දැවැන්තම ආර්ථික අර්බුදය හමුවේ සිමිතවී ඇති ඩොලරය වෙනුවට, ඉන්දීය රුපියල හරහා මෙලෙස ලැබුණු සහනය ශ්‍රී ලංකාවට වැදගත් වන්නේ මෙතෙකැයි කියා කිව නොහැකි බවද මෙහිදී සඳහන් කළ යුතුය.

RECENT ARTICLES - SINHALA

මැලේසියාවේ KFC ශාඛා කිහිපයක් හදිසියේ වසා දැමේ

ගාසා තීරයට එරෙහි ඊශ්‍රායලයේ යුද්ධයට එක්සත් ජනපදය දක්වන සහයෝගයට එරෙහිව දියත් කර ඇති වර්ජන ව්‍යාපාරයට මේ වන විට මාසයක පමණ කල් ගත වී තිබෙනවා....

සහල් දීමනාව නොදුන්නැයි කාන්තාවක් ග්‍රාම නිලධාරිනියට ගහලා

රජය මගින් ලබා දෙන සහල් නොදුන්නැයි උරණවූ කාන්තාවක් කළ පහරදීමකින් ග්‍රාම නිලධාරීවරියක් රෝහල් ගතකර ඇති බව පොලිසිය පවසනවා. මෙසේ රෝහල් ගත කර ඇත්තේ, පනාපිටිය දකුණ...

ඇල්ල – කරඳගොල්ල ගැන අලුත් අනාවරණයක්

උමා ඔයේ බලපෑමක් හේතුවෙන් ඇල්ල, කරඳගොල්ල ප්‍රදේශයෙන් නාය යෑමේ තත්ත්වය සක්‍රීය වී නොමැති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා දෙපාර්තමේන්තුවේ සම්මානිත මහාචාර්ය අතුල සේනාරත්න මහතා...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...