30 C
Colombo
Thursday, May 9, 2024

මිනිස් ජාවාරම් භීෂණයට චීනයත් හසුවෙයි

- Advertisement -

ශ්‍රී ලංකාව ඇතුළු විවිධ රටවල පුද්ගලයින් ඉහළ වැටුප් ලබා දෙන බවට පොරොන්දු වී චීනයට හෝ චීන සමාගම්වලට ජාවාරම් කිරීමේ සිද්ධීන් රැසක් වාර්තා වෙමින් තිබෙනවා.
විදේශ රැකිය පිළිබඳ උනන්දු වන පුද්ගලයින් ඒ සම්බන්ධයෙන් වඩාත් අවධානයෙන් පසු විය යුතු වන්නේ විදේශ රැකියාව නැමති උගුලේ හසු වූ පසු අවසානයේ සිදු විය හැක්කේ නීතිවිරෝධී මූල්‍ය වංචාවන් සිදු කළ බවට නොදන්නා රටකදී එරට බලධාරීන්ගේ අත්අඩංගුවට පත් වීම විය හැකි බැවිනුයි.

මිනිස් ජාවාරමට සම්බන්ධ මෑත කාලීන සිදුවීම වන්නේ රැකියා දෙන බවට පොරොන්දු වී මියන්මාරයේ චීන සමාගමකට තරුණයින් අට දෙනෙකු ජාවාරම් කර තිබීමයි.
තායිලන්තයේ රැකියා දෙන බව පවසා මියන්මාරයට රැගෙන ගොස් චීන සමාගමක වහල් සේවයට යොදාගෙන සිටින ශ්‍රී ලාංකික තරුණයන් අටදෙනකු ගැන පසුගියදා ජාතික පුවත්පත් අනාවරණය කර තිබුණා.
මෙම අටදෙනා අතර සිටින හෘදයාබාධයක් වැළඳුණු හම්බන්තොට පදිංචි තරුණයකු සමාගම් පරිශ්‍රයේ අඳුරු කාමරයක හිරකර සිටින බවද වාර්තා වනවා.

මෙම තරුණයාට ඉක්මන් හදවත් සැත්කමක් කළ යුතුව ඇතැයිද සඳහන්.
වහාම මෙම පිරිස මුදාගැනීමට මැදිහත්වන්නැයි මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශයට දැනුම් දී ඇති අතර මියන්මාර රජය සමග සාකච්ඡා කර මියන්මාර තානාපති කාර්යාලයට එම තරුණයන් භාරකරන ලෙසට එහිදී ඉල්ලා තිබෙනවා.
විදේශ කටයුතු අමාත්‍යාංශයට වහාම මේ සඳහා මැදිහත් වී තරුණයන් මුදාගැනීමට පියවර ගන්නැයි ආරක්ෂක අමාත්‍යාංශයද ඉල්ලීමක් කර ඇති බව වාර්තා වුණා.

මෙම මිනිස් ජාවාරම සිදුකර ඇත්තේ මීට ඉහතදීත් දකුණු පළාතේ තරුණ තරුණියන් රැගෙන ගොස් චීන සමාගමේ ශ්‍රමිකයන් ලෙස මුදලට විකිණීමේ චෝදනාවට සිරගත කර සිටින පුද්ගලයෙක් බව අනාවරණය වී ඇතැයි ඉහළ පෙළේ ආරංචි මාර්ග තහවුරු කළා.
සංචාරක වීසා මත මෙම පිරිස තායිලන්තයේ චීන සමාගමකට රැගෙන ගොස් තිබුණේ පාරිභෝගික සේවා සපයන ආයතනයක රැකියා දෙන බව සඳහන් කරමින්.

කොල්ලුපිටිය ප්‍රදේශයේ නිවසකදී චීන ජාතිකයන් සමග මෙම පිරිස සම්මුඛ පරීක්ෂණවලට ලක්කර අවස්ථා කිහිපයකදී තායිලන්තයට රැගෙන ගොස් ඇතැයි අනාවරණය වනවා.
තායිලන්තයට ගිය පසුව මෙම පිරිස බෝට්ටුවකින් මියන්මාරයට රැගෙන ගොස් උණ්ඩියල් මුදල් ජාවාරම් සඳහා බලහත්කාරයෙන් යොදවන බවයි වාර්තා වන්නේ.
මේ අතර, අන්තර්ජාල සූදු සඳහා බලහත්කාරයෙන් යෙදවීම සඳහා ශ්‍රී ලංකාවට ජාවාරම් කළ චීන ජාතිකයින් 13 දෙනෙකු චීන තානාපති කාර්යාලය මැදිහත් වී මුදා ගෙන තිබෙනවා.

වංචා සහගත කාර්යයන් ඉටු කිරීමට අපොහොසත් වූ විට හෝ ඔවුන් පැන යාමට උත්සාහ කළ විට එම පිරිස ජීවිත තර්ජනවලට ලක් ව ඇති අතර ශාරීරික හිංසනයන්ට ද ලක් ව ඇති බව තානාපති කාර්යාලය පැවසුවා.
ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය මේ තත්ත්වය දැනගත් වහාම පොලිසිය සමඟ සම්බන්ධීකරණයෙන් වංචා කල්ලියේ ප්‍රධාන සාමාජිකයන් සහ චීන ජාතිකයන් පිරිස නීති විරෝධී ලෙස ර රඳවා තබා ගැනීමට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය තොරතුරු ලබා දෙමින්, චීන ජාතිකයන් 13 දෙනා සාර්ථකව බේරා ගැනීමට සමත්ව තිබෙනවා.
ඊනියා ඉහළ වැටුප්, කෙටි වැඩ කරන පැය ගණන් සහ විනෝදජනක සංචාරක සුභසාධනය සහ වෙනත් විදේශ රැකියා බඳවා ගැනීමේ තොරතුරු විශ්වාස කිරීම හේතුවෙන් ඔවුන් මෙම යෝජනා ක්‍රමයට හසුව තිබෙනවා.
මෑත වසරවලදී, ඔන්ලයින් සූදු ඔස්සේ සිදුවන මූල්‍ය වංචා මියන්මාරය, තායිලන්තය සහ ශ්‍රී ලංකාව වැනි අග්නිදිග ආසියානු රටවල සමාජ ගැටලු රැසක් නිර්මාණය කර අවසන්.

ඉහළ වැටුප් ලබා දෙන බවට පොරොන්දු වී ‍විදේශ ගත කෙරුණු ඇතැම් චීන ජාතිකයන් මිනීමැරුම්, පැහැරගැනීම් සහ මිනිස් ජාවාරම්වල ගොදුරු බවට පත් විය.
චීන කොමියුනිස්ට් පක්ෂය විසින් 1979 සිට 2015 දක්වා ක්‍රියාත්මක කරන ලද කුරිරු එක් දරු ප්‍රතිපත්තිය චීනයේ පිරිමි සහ ගැහැණු අනුපාතයේ දැඩි අසමතුලිතතාවයක් ඇති කරනු ලැබුවා.
බොහෝ ගම්වැසියන් තම නූපන් දරුවාගේ ලිංගය හෙළි කිරීමට වෛද්‍ය නිලධාරීන්ට අල්ලස් ලබා දුන් අතර කලලරූපය ගැහැණු ළමයෙකු බව දැනගත් විට ගබ්සා කිරීමට මැලි නොවුණි.
අද වන විට චීනයේ පිරිමින් කාන්තාවන්ට වඩා මිලියන 30 කට ආසන්න සංඛ්‍යාවක් සිටිනවා.
මෙය තනිකඩ පිරිමින් අතර භාර්යාවන් “මිලදී ගැනීමට” විශාල ඉල්ලුමක් ජනනය කර ඇති අතර එය ග්‍රාමීය චීනයේ කාන්තාවන් මිනිස් ජාවාරමට නතු වීමට හේතුවක් වී තිබෙනවා.

“කාන්තාවන්ට වෙනස් කොට සැලකීම තුරන් කිරීම, කාන්තාවන්ගේ විවාහ නිදහස ආරක්ෂා කිරීම සහ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සාක්ෂාත් කර ගැනීම සඳහා නීති සම්පාදනය කර ඇති බව චීන බලධාරීන් ප්‍රකාශ කර ඇතත්, චීනය මෙම ගැටලුව විසඳා ඇති බවක් නම් පෙනෙන්නට නැහැ.
අඛණ්ඩව වසර පහක් තිස්සේ සවිස්තරාත්මක නීතිය ක්‍රියාත්මක කිරීමේ සංඛ්‍යාලේඛන හෙළි කිරීමට චීන රජය අපොහොසත් වී ඇති නිසාත්, මිනිස් ජාවාරමට ගොදුරු වූවන් පිළිබඳ නිල වාර්තාවක් නොමැති නිසාත් චීනයේ මිනිස් ජාවාරම් ගැටලුවේ සැබෑ පරිමාණය තවමත් ලෝකයට අබිරහසක්.

එක් අධ්‍යයනයකට අනුව, 2017 සහ 2020 අතර, චීනයේ විවිධ ප්‍රදේශවල වෙළඳාමට ගොදුරු වූ සහ පිරිමින්ට විකුණන ලද කාන්තාවන් 1,250 කට අධික සංඛ්‍යාවකගේ නඩු චීන අධිකරණ විසින් විභාග කර තිබෙනවා.
නිශ්චිත සංඛ්‍යාලේඛන කුමක් වුවත්, සෑම වසරකම බොහෝ තරුණ ගැහැණු ළමයින් මිනිස් ජාවාරම්කරුවන් විසින් පැහැරගෙන චීනයේ දුෂ්කර ගම්බද ප්‍රදේශවලට රැගෙන යන බවත්, එහිදී ඔවුන් බොහෝ විට ඔවුන්ගේ ජීවිත කාලය පුරාම දුක්ඛිත පැවැත්මක් විඳදරාගන්නා බවත් පැහැදිලිය.
අවසාන වශයෙන්, පුද්ගලික ආරක්‍ෂාව අනතුරේ හෙළීමට පමණක් නොව අපරාධවලට ද සම්බන්ධ විය හැකි බැවින්, ඉහළ වැටුප් සහ ප්‍රතිලාභ පොරොන්දු වන ව්‍යාජ බඳවා ගැනීමේ දැන්වීම්වලට හසු නොවී, සුපරීක්ෂාකාරීව සිටින ලෙසත්, නිත්‍ය සහ නීත්‍යානුකූල කම්කරු ඒජන්සියක් හරහා විදේශ රැකියා සඳහා යාමට වග බලා ගන්නා ලෙසත් නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන් මහජනතාවට සිහිපත් කරනවා.

RECENT ARTICLES - SINHALA

රුසියා – යුක්‍රේන යුද බිමට ගිය ලාංකිකයන් ගැන තොරතුරු දෙන්න

නීතිවිරෝධී මාර්ග හරහා රුසියා - යුක්‍රේන යුද්ධය සඳහා ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදා විශ්‍රාමික සාමාජිකයින් යෙදවීමේ මිනිස් ජාවාරමට සම්බන්ධව තොරතුරු ලබාගැනීම වෙනුවෙන් ආරක්‍ෂක අමාත්‍යාංශය විසින්...

ඩයනා වෙනුවට මුජිබර්ගේ නම ගැසට් කෙරේ

ඩයනා ගමගේ ඉවත් කිරීමෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා සමගි ජන බලවේගය විසින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ මුජිබර් රහුමාන් මහතාව නම් කළ බවට...

මේ වන විට පාර්ලිමේන්තුව අහිමිවූ මන්ත්‍රී ලැයිස්තුව මෙන්න

2020 මහමැතිවරණයෙන් පසු පාර්ලිමේන්තුවට තේරි පත්වුණු හා ජාතික ලැයිස්තුවෙන් පත්වුණු මන්ත්‍රීවරුන්ගෙන් පාර්ලිමේන්තුව හැර ගිය හා අතහැරයාමට සිදුවු පිරිස මේ වන විට දොළහ දක්වා ඉහළ...

POPULAR ARTICLES

වාහන ආනයන බලපත්‍ර හිමිවන රාජ්‍ය සේවකයින් මෙන්න

වයස අවුරුදු 60 සම්පුර්ණවීමෙන් පසුව විශ්‍රාම ගිය ජේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ ජේෂ්ඨ නිලධාරීන් සඳහා තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය...

හෙද සේවය ඇතුළු සෞඛ්‍ය සේවාවල විශ්‍රාම වයස් සීමාවේ වෙනසක්

හෙද කාර්ය මණ්ඩලයේ ඇතුළු ඇතැම් සෞඛ්‍ය සේවාවල විශ්‍රාම යාමේ වයස අවුරුදු 61 දක්වා දිර්ඝ කරන ලෙස ඉල්ලා අමාත්‍ය මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළ බව...

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් වන දිනය ගැන දැනුම්දීමක්

අද ඇරඹුණු අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල සැප්තැම්බර් මාසය වනවිට ලබාදීමට බලාපොරොත්තු වන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසනවා. විභාග...