25 C
Colombo
Wednesday, May 15, 2024

දේශිය ණය ප්‍රශ්නය අද විසඳෙයි – චීනය ණය බරට දෙන සහනය කුමක්ද?

- Advertisement -

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම හෙවත් දේශීය ණය ප්‍රශස්තිකරණයට අදාළ යෝජනාවලිය ආණ්ඩුව අද (ජුලි 01 වැනිදා) පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර අනුමැතිය ලබා ගැනීමට නියමිතයි. කෙසේ වෙතත් සමගි ජනබලවේගය ඒ සඳහා විරුද්ධව ඡන්දය භාවිත කරන බව මේ වන විට දැනුම් දී තිබෙනවා. නමුත් තවමත් ආණ්ඩුවට මන්ත්‍රීවරු 113ක සරල බහුතරය තවමත් ඇති බැවින් සිය යෝජනාවලිය සම්මත කර ගැනීම ගැටලුවක් විය නොහැකි වනු ඇති. ණය ප්‍රශස්තිකරණ වැඩපිළිවෙල සාර්ථක කර ගැනීම සඳහා ඊයේ (ජුනි 30 වැනිදා) විශේෂ බැංකු නිවාඩුවක් ප්‍රකාශයට පත් කරමින් දින 5ක කාල පරිච්ඡේදයක් මෙරට බැංකු සහ මූල්‍ය වෙළෙඳපොල වසා දැමීමට ද ආණ්ඩුව කල් වේලා ඇතුවම කටයුතු කළා. මෙම ක්‍රියාවලිය සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව විවිධ ප්‍රකාශ සිදු කරන පසුබිමක මහබැංකු අධිපතිවරයා සහ මුදල් අමාත්‍යංශ ලේකම්වරයා ඇතුලු පාර්ශ්ව එක්ව ප්‍රවෘත්ති සාකච්ඡාවක් ද කැඳවා තිබුණා.

එහිදී අදහස් දක්වමින් මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මෙසේ පැවසීය.
“මෙහිදී මහ බැංකුව ලෙස අප බලන්නේ බැංකු පද්ධතියේ ස්ථාවරත්වය රැකගැනීමටත්, EPF වෙනුවෙන් ලබාදිය හැකි හොඳම විසඳුම මොකක්ද කියලයි. බැංකු පද්ධතිය තුළින් තැන්පත්කරුවන්ගේ තිබෙන තැන්පත් ප්‍රමාණය මිලියන 57ක්. ඒ මුදල්වලට යම්කිසි දෙයක් වුණොත් බැංකු පද්ධතියට වෙන හානිය ඉතා විශාලයි ඔබ දැක්කා පසුගිය කාලයේ විශාල කටකතාවක් තිබුණා බැංකු කඩා වැටෙනවා. තැන්පත් නැති වෙනවා. බොහෝ දෙනෙක් ඇහුවා තැන්පත් එළියට ගන්නද කියලා. බැංකුවල තැන්පත් ඉවත් කරන්න ගත්තොත් ආර්ථිකයම කඩා වැටෙනවා. ඒ නිසා පළවෙනිම උත්සාහය බැංකු පද්ධතියට හානියක් නොවී ගිණුම් මිලියන 57ක තියෙන තැන්පත්රුවන්ගේ මුදල් ආරක්ෂා කර ගැනීමයි. ඒක තමයි තිබෙන ලොකුම සමාජ බලපෑම. ඒ නිසා බැංකුවලට අත තියන්නේ නෑ. ඊළඟට විශ්‍රාමික අරමුදල් (superannuation fund) ගත්තොත් බැංකුවලට සාපේක්ෂව අඩුවෙන් බදු ගෙවන 14%ක බදුවලට යටත් වූ ඊ පී එෆ් , ඊ ටී එෆ් ඇතුලු බොහෝ දේ තිබෙනවා. මේ සියලු දෙනාගේ තිබෙන භාණ්ඩාගාර බැඳුම්කරවලින් යෝජනා කර තිබෙන්නේ තිබෙන සියළු බැඳුම්කර නැවත රජයට අරගෙන අලුතින් බැඳුම්කර නිකුත් කරනවා. ඒවාට 2025 වෙනකම්ම 12%ක පොලියක් ලැබෙනවා. එතනින් ඉදිරියට 9%ක පොලියක් ලැබෙනවා. අනෙකුත් වැදගත් කාරණය තමයි තමන්ගේ ඊ පී එෆ් හී තිබෙන මුදල අඩු නොවීම. මේ භාණ්ඩාගාර බැඳුම්කර හුවමාරුවට සහභාගි නොවන අයට තෝරා ගැනීමක් තිබෙනවා. ඒ තමයි 14% වෙනුවට සාමාන්‍ය අය ගෙවන ආකාරයට 30% බද්දක් ගෙවිය ගෙවීම. මේ අනුව සති කීපයක් ඇතුළත බැඳුම්කර හුවමාරු සිදුකර ජූලි මාසය ඇතුළත මේ ක්‍රියාවලිය සම්පූර්ණ කරන්න බලාපොරොත්තු වෙනවා.”

මෙහිදී අදහස් දැක්වූ ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග පැවසුවේ, “ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග අපේ වැඩසටහන වසර 04ක වැඩසටහනක් ලෙස මෙය ක්‍රියාත්මක වන්නේ. එහි ප්‍රධාන අංගයක් තමයි ණය ප්‍රතිව්‍යුහගතකරණය. ශ්‍රී ලංකාවේ ණය තිරසරභාවයෙක් නැහැ කියන එක ජාත්‍යන්තර මූල්‍ය අරමුදල බොහෝ කලකට පෙර ප්‍රකාශ කළා. අද අප කතා කරන දේශීය ණය ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 42.1 යි. එයිනුත් ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ කර ගන්නේ බිලියන 19.8ක ප්‍රමාණයක්. එයට ශ්‍රී ලංකා මහ බැංකුව , වාණිජ බැංකු සහ අනෙකුත් බැංකු, සේවක අර්ථ සාධක අරමුදල සහ රජයට ණය සපයා ඇති වෙනත් ආයතන 04ක් ඇතුළත් වෙනවා. මේ ආයතන අතරේ ණය ප්‍රතිව්‍යුහගතකරණය විවිධාකාරයට සිදු වුවත් කිසියම් ආකාරයක මිශ්‍රිත වැඩපිළිවෙලක් ඔස්සේ යම්කිසි සහන ප්‍රමාණයක් රජයට ලබා ගැනීම එහි අවසන් ප්‍රතිඵලය විය යුතු බව අපේක්ෂා කරනවා. ” යනුවෙනි.

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධ ගැටලුව එසේ පවතිද්දී, IMF විසින් නිර්දේශ කර ඇති විදේශීය ද්විපාර්ශ්වික ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියද මෙතෙක් අවසන් කරගැනීමට රජය අපොහොසත්වී සිටිනවා. ඊට ප්‍රධානම හේතුව වී ඇත්තේ, සුපුරුදු පරිදි චීනය අනුගමනය කරන ස්ථාවරයයි. ඉන්දියාව, ජපානය සහ පැරිස් සමාජයේ සාමාජික රටවල් විසින් ශ්‍රී ලංකාවට ලබාදී ඇති සිය ණය සාධාරණ පදනමකින් ප්‍රතිව්‍යුහගතකරණය කරදීමට කැමැත්ත පළකර ඇති නමුත්, මාස ගණනක් ගත වී ඇතත් චීනය තවමත් සිය ස්ථාවරය නිශ්චිතව ප්‍රකාශය පත්කර නැහැ.

IMF විසින් සිය පළමු ණය වාරිකය ශ්‍රී ලංකාව වෙනුවෙන් නිකුත් කරන ලද්දේ පසුගිය මාර්තු මාසයේදීය. ඉන් අනතුරුව IMF අවධාරණය කරන ලද්දේ සිය දෙවන වාරිකය නිකුත් කිරීමට පෙර ද්විපාර්ශ්වික ණය හිමියන් වෙතින් ණය ප්‍රතිව්‍යුහගතකරණය කරගැනීම සඳහා එකඟතා සැලැස්මක් ලබාගන්නා ලෙසයි. ඒ අනුව ශ්‍රී ලංකාව තම පාර්ශ්වයෙන් සාකච්ඡා ආරම්භ කිරීමට ප්‍රථම ඉන්දියාව ප්‍රමුඛ අනෙක් පාර්ශ්වයන් සිය ණය ප්‍රතිව්‍යුහගතකරණය කරදෙන ආකාරය පිලිබඳ දල සැලැස්මක් ඉදිරිපත් කළා. එහිදී වඩා ප්‍රගතිශීලි වූ පැරිස් සමාජයේ සාමාජික රටවල් පෙන්වාදුන්නේ ශ්‍රී ලංකාවට ලබාදී ඇති ණය වසර 10ක් ගතවන තුරු අයකර ගැනීමෙන් වැළකී සිටිය යුතු බවයි. ඉන් අනතුරුව ණය ආපසු ගෙවීම සඳහා තවත් වසර 15ක පමණ දීර්ඝ සහන කාලයක් ලබාදිය යුතු බවටද පැරිස් සමාජය යෝජනා කර තිබෙනවා. එම මුළික එකඟතාවට අනුව ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ සාකච්ඡා ආරම්භ කර පොදු වැඩසටහනක් සකස්කර ගැනීමට ඉන්දියාව සහ ජපානයද කැමැත්ත පළකර තිබෙනවා.

එහෙත් ආරම්භයේදී මෙන්ම වර්තමානයේදීද චීනය ශ්‍රී ලංකාවේ අනෙකුත් ණය හිමියන්ගේ පොදු එකඟතා සම්බන්ධයෙන් පසුවන්නේ නෑසු කන්ව ය. ඉන්දියාව, ජපානය සහ පැරිස් සමාජය එක්ව සංවිධාන කළ ණය හිමියන්ගේ සාකච්ඡාවට පවා ක්‍රියාකාරීව සහභාගී වීම දිගින් දිගටම ප්‍රතික්ෂේප කරමින් සිටින චීනය හුදු නිරීක්ෂකයෙක් ලෙස පමණක් එම සාකච්ඡාවට එක් වුණා.

චීනය මෙලෙස ශ්‍රී ලංකාවට ලබාදී ඇති ඩොලර් බිලියන 07කට වැඩි දැවැන්ත ණය වෙනුවෙන් සහනයක් ලබාදීම මගහැර යන්නට බලපෑ ඇති ප්‍රධාන හේතුව වන්නේ, චීනය විසින් විශාල ලෙස ණය ලබාදී ඇති ලොව තවත් සංවර්ධනය වෙමින් පවතින රටවල් ගණනාවක්, ණය උගුල්වල පැටලී ආර්ථික අර්බුදවලට මුහුණදී සිටීමයි.
යම්හෙයකින් චීනය විසින් ශ්‍රී ලංකාවේ ණය වෙනුවෙන් අනෙකුත් ණය හිමියන්ට සමානව සහනයක් ලබාදීමට කැමැත්ත ප්‍රකාශ කළහොත්, චීන ණය ලබාගෙන අර්බුදයන්ට මුහුණදී සිටින අනෙකුත් රටවල් තමන්ටද එම සහනය ඉල්ලා සිටීම වැලැක්විය නොහැකිවන අතර, චීනයට අනිවාර්යයෙන් එම ඉල්ලීම් ඉටුකිරීමට සිදුවනු ඇති.

එසේම ශ්‍රී ලංකාව මුහුණදී සිටින මෙම දුෂ්කර අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීමටද චීනය උත්සුක වෙමින් සිටින බව, චීනයේ මෑත කාලින හැසිරීම නිරීක්ෂණය කරන විට හඳුනාගත හැකියි. විශේෂයෙන් ණය ආපසු ගෙවීම අපහසු නම් ණය ප්‍රතිව්‍යුහගතකරණය වෙනුවට, ශ්‍රී ලංකාව තුල ක්‍රියාත්මක චීන ව්‍යාපෘති සම්පුර්ණයෙන්ම තමන්ට පවරාදෙන ලෙස චීනය මෙරට රජයට යෝජනා ඉදිරිපත් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා. විශේෂයෙන් රටේ බලශක්ති මර්මස්ථානයක් වන නොරොච්චෝලේ බලාගාරය පවරා ගැනීම සම්බන්ධයෙන්, සිය ණය ප්‍රතිව්‍යුහගතකරණ යෝජනාවන් අවසන් කිරීමට පෙර එකඟතාවකට පැමිණීමට පෙර චීනය උත්සාහ කරමින් සිටින බව වාර්තා වනවා.

RECENT ARTICLES - SINHALA

වීසා ගැටලුව ගැන සාකච්ඡාවට නිළධාරීන් ගිහින් නැහැ

මෙරටට පැමිණෙන විදේශිකයන් සඳහා ඔන්ලයින් වීසා නිකුත්කිරීම සම්බන්ධයෙන් වූ සාකච්ඡාව සඳහා පෙර දැනුම්දී තිබියදී මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ සහ ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අද...

රජයේ දේපළකට අයුතු ලෙස ඇතුළු වු 14දෙනා රිමාන්ඩ්

රජයේ දේපොළකට අයුතු ලෙස ඇතුළු වූයේ යැයි පැවසෙන සිද්ධියක් සම්බන්ධයෙන් ගල්කිස්ස මහේස්ත්‍රාත්වරිය හමුවට ඉදිරිපත් කරන ලද සැකකරුවන් 14 දෙනෙකු ලබන 28 දක්වා රක්ෂිත බන්ධනාගාරගත...

වෙසක් සැරසිලිවලට ප්ලාස්ටික් තහනම්

එළඹෙන වෙසක් සමයේ සිදු කරන විවිධාකාර සැරසිලි සඳහා ප්ලාස්ටික් භාවිතා නොකරන ලෙස මධ්‍යම පරිසර අධිකාරිය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. වෙළඳපොළ නිරීක්ෂණය කරන විට පොලිතින් ප්ලාස්ටික් වලින්...

POPULAR ARTICLES

යුධ පිටියක් වු කටුගස්තොට

කටුගස්තොට නගරය ආසන්නයේ විවෘත කිරීමට නියමිතව තිබූ මත්ස්‍ය වෙළෙඳ සැළකට කඩා වැදුණු අවිගත් කණ්ඩායමක් ගොඩනැගිල්ලට සහ වාහන දෙකකට පහර දී දැඩි අලාභහානි සිදුකර තිබෙන...

නෙළුම් කුළුණෙන් පැන්න විදේශිකයෙක් වහලය උඩට වැටිලා

කොළඹ, නෙළුම් කුළුණේ බේස් පැනීමේ ඉසව්ව (Base Jump) අත්විඳිමින් සිටි විදේශිකයෙකු එම ඉසව්ව අතරතුර දී ඉන් ඇද වැටීමෙන් තුවාල ලබා තිබෙනවා. විදේශිකයාගේ පැරෂුටය විවෘත වීම...

ගෝඨාට පැනලා යන්න උදව් කළේ ජනතාවගේම හොඳට – මොහොමඩ් නෂීඩ්

පසුගිය අරගලය සමයේ මහජන විරෝධය මැද රටින් පළා ගිය එවක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට සහ ඔහුගේ බිරිඳට මාලදිවයින් රාජ්‍ය තුළ තාවකාලික රැකවරණය සැපයීමට තමා කටයුතු...