28 C
Colombo
Thursday, May 19, 2022

කොමිෂන් සභා දැන් ‘පිං ගොනෙක්’ වගේ – කීර්ති තෙන්නකෝන්

- Advertisement -

ගෙදර ඇති කළ හරකා ගේ පිටේ ‘පිං’ යැයි හංවඩු ගසා නිදහස් කළ පසුව, කවුරුවත් ඌ මරන්නේ නැත. හණ ගහන්නේ ද, ඇට තලා – කර අඹන්නේ ද නැත. පට්ටි දාන්න ගන්නේ ද නැත. පිං ගොන් වත්තකට පැන වගා පාලුවක් කළ නමුත්, කවුරුත් පොලිසී යන්නේ ද නැත. මැරුවාට කවුරුත් දුක් වන්නේ නැත. හිටියා කියා විශේෂ සතුටක් ද නැත.

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හදපු කොමිෂන් සභා අතහැර දමන ‘පිං ගොනා’ වාගේ ය. අඩුම ගානේ ඡන්දයකින් බලය ගන්නට හිතන දේශපාලන පක්ෂයක්වත් දැන් රාජ්‍ය සේවා, පොලිස්, අල්ලස්, මැතිවරණ, මහජන උපයෝගීතා, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන, රාජ්‍ය භාෂා, සීමා නිර්ණය ආදී කොමිෂන් සභා ගැන කතා කරන්නේ නැත. ඥානසාර, දුමින්ද සිල්වා ට තරම් හෝ අවධානයක් නැත.

ශූර දිසාපතිනියක, ගෞරවනීය රේගු අධ්‍යක්ෂ ජෙනරාල්වරියක, ලේකම්වරියක වූ පී.එස්.එම්. චාල්ස් උතුරේ ආණ්ඩුකාර ධූරයෙන් ඉවත්කර මැතිවරණ කොමිසමට පත් කර ඇත. ජීවන් ත්‍යාගරාජා කොමිසමෙන් සිට උතුරේ ඒම තනතුර සමඟ මාරු කර ඇත. දේශපාලන පක්ෂ නොතකා හැරි ලෙසම, කිසිම තැනක මේ ගැන නිදහස් මතයක් පළ නොවීය. නිවේදනයක්, පාර්ලිමේන්තුවේ සඳහනක් තබා විහිළුවක්, කාටුනයක්වත් නැත.

පසුගිය දා, අඟහරුවාදා මැතිවරණ කොමිසම පුවත්පත් සාකච්ඡාවක් පැවැත්වීය. කවුරුත් මේ පත්වීම් ගැන අසුවේ ද නැත. මැතිවරණ කොමිසමේ පුවත්පත් සාකච්ඡාව ඉතිහාසයේ පළමු වතාවට කිසිදු ප්‍රමුඛ නාලිකාවකට ප්‍රවෘත්තියක් වූවේ ද නැත.

අනෙකුත් කොමිෂන්වලට වඩා මැතිවරණ කොමිසම දේශපාලනයට අතිශයින් වැදගත් බැවින් ලියමි.

හිටපු විප්ලවවාදී ඩග්ලස් දේවානන්ද අමාත්‍යවරයාගේ හිතවතා වූ, ඩයස්පෝරා නායක ජීවන් ත්‍යාගරාජා මැතිවරණ කොමිසමේ සමාජිකත්වයට පත් වූවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 පරිච්චේදයේ 103 වගන්තියේ ප්‍රතිපාදනයට (යම් වෘත්තියක හෝ පරිපාලන හෝ අධ්‍යාපනය යන ක්ෂේත්‍රයක විශිෂ්ටතා හිමිකරගෙන සිටින අයෙකු) පිටින් ය. කවුරුත් කතා කළේ නැත. දැන් ඔහු ඉල්ලා අස්වී පසු දින උතුරේ ආණ්ඩුකාර ධූරයට පත්වී ගැන ද උතුරේ – දකුණේ කිසිවෙකුට අදහසක් නැත. විවේචනයක් ද, සතුටක් ද නැත.

කැෆේ, මානව හිමිකම් කේන්ද්‍රය, දුෂණ විරෝධී පෙරමුණ, උමා ඔය සටන ආදී සංවිධාන දුසිමක සාමාජිකයෙකු වූ කීර්ති තෙන්නකෝන් ආණ්ඩුකාරයා වූ විට සමාජ මාධ්‍ය මරු කතා ටිකක් කීවේය. පෝස්ට් 112 ක් පමණ මා එකතු කර ඇත. මැතිවරණ නිරීක්ෂකයෙක් ද, මැතිවරණ කොමිසමේ නිලධාරීන් ඒ අතර විය. පෙරේරා (ඔක්. 27) කාබනික පොහොර ගැන ලියූ සටහනකට ද මැතිවරණ නිරීක්ෂක හිංට් ඒකක් ගසා තිබුණි. තිස් පන් දහසකට වඩා වන මැතිවරණ නිරීක්ෂකයින් අතරින් එක් පුද්ගලයෙකු වූ කීර්ති ගේ පත්වීම ගැන තිබූ අවධානය, මැතිවරණ කොමිසමේ පහෙන් ඒකක් වූ ජීවන් ත්‍යාගරාජා ට නැත්තේ ඇයි? ආණ්ඩුකාර ධූරයෙන් ඉවත් කර කොමිසමට පත් කරන චාල්ස් මැතිනිය ගැන නැත්තේ ඇයි? මැතිවරණ නිරීක්ෂකයින් තබා තරුණ ජනමාධ්‍යවේදීන් සංගමය හෝ මේ ගැන උනන්දු නොවන්නේ ඇයි?

බර අදින ගොන්නු ‘පිං ගොන්නු’ වූ විට වත්ත කෑවා ට කවුරුත් කලබල නොවන්නා සේය.

ලංකාවේ මැතිවරණ කොමිසමේ පරමාදර්ශය ඉන්දීය මැතිවරණ කොමිසම යි. ඉන්දියාවේ 11 වන මැතිවරණ කොමිසමේ සභාපති ආචාර්ය ඒම්.එස්. ගිල් (1996 – 2001), තනතුරෙන් ඉවත්ව වසර 7 කට පසුව (2008) ඡන්දය දිනා තරුණ හා ක්‍රීඩා ඇමතිවරයා ලෙස ඡන්දයෙන් පත්විය. ඉන්දීය මැතිවරණ කොමිසමේ සභාපති, ඡන්දයට ඉදිරිපත් වී, ඇමතිවරයෙකු වී ම දැඩි ගැන සංවාදයක් ඇති විය. මැකෝ, මහින්ද දේශප්‍රිය ජනාධිපතිවරණයට ගන්නට ෆෙස් බුකිය යෝජනා කළේ මේ අතරය. එයට එදා, මැකෝ මහින්ද දේශප්‍රිය පිළිතුරු දුන්නේ,

‘‘මහින්ද දේශප්‍රිය වන මම ඉදිරි ජනාධිපතිවරණයේදී හෝ පාර්ලිමේන්තු මැතිවරණයේදී හෝ ඡන්ද අපේක්ෂකයකු නොවෙමි. එසේ යෝජනා කිරීමෙන් වළකින ලෙසද කාරුණිකව අයැද සිටිමි. මැකොස සභාපති වශයෙන් ක්‍රියා කළ අයකු ඡන්ද අපේක්ෂකයකු වීම සදාචාර විරෝධී බව මාගේ මතයයි.’’ යැයි පැවසීය.

මැතිවරණ කොමිසම ‘අඛණ්ඩ, අවිච්චින්න හා නෛතික’ ය. එනම්, පූර්වාදර්ශ අනුගමනය කළ යුතුය. ජීවන් ත්‍යාගරාජා, මැතිවරණ කොමිසමේ සාමාජිකයෙකු ලෙස සිටිය දී, උතුරේ ආණ්ඩුකාරවරයා ලෙස පත් කරනු ලැබූවේ කොමිසමේ සමාජිකත්වයෙන් ඉවත්වීමේ කොන්දේසිය මත ය. මහින්ද දේශප්‍රිය ගේ ඒ පූර්වාදර්ශය ජීවන් ත්‍යාගරාජාට එකසේ අදාල වූවේ නැත. රටේ ජනතාවට අදාල වූවේ ද නැත. සමහර විට 2019 මැතිවරණ නිරීක්ෂකයෙකු තරම් වත්, 2021 මැතිවරණ කොමිෂන් සභා සමාජිකයෙකුට ප්‍රමුඛත්වයක් නැතිවා වාගේය. 17 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් හැදු කොමිසමට ෆැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කිංස්ලි රෙද්‍රිගෝ ගේ නම නාමිකව යෝජනාවන විටත් මීට වඩා ඒ ගැන දේශපාලන පක්ෂ/සංවිධාන කථා කළේය.

එදා තනි කිංස්ලි රුද්‍රගෝ ට තිබූ වැදගත්බව තරම් අද ‘ත්‍යාගරාජා – චාල්ස්’ මාරුවට නැත. නැතිනම්, ඉන්දීයාවේ කීර්තිමත් 9 වන ප්‍රධාන කොමසාරිස් වී.එස්. රාමාදේවී පසුව කර්නාටක ප්‍රාන්තයේ (එකම) ආණ්ඩුකාරවරිය ලෙස පත් විය. රාමාදේවී ට හොඳ නම්, ත්‍යාගරාජා නරක් වන්නට විදිහක් නැති බව රටම සිතනවා විය යුතුය.

2019 එවකට මැතිවරණ කොමිසම කීර්ති තෙන්නකෝන් නිසා කැෆේ සංවිධානයේ නිරීක්ෂණ අවසරය සීමා කළේය. තාවකාලිකව අත්හිටවන බව දැන්වීය. දැන් මැතිවරණ කොමිසම (හා සාමාජිකයින්) පිං ගොනෙකු වන් නිසා දෝ ඒ කොමිසම ම ජීවන් ත්‍යාගරාජා ආණ්ඩුකාරවරයා ලෙස ම කොමිසමට කැඳවා උත්සවයක් ද පවත්වා සමරු එලකයක් ද තෑගි කළේය. තනතුරෙන් ඉහළ යාම ගැන සුබ පැතීය. කොමිසම් වාර්තාවලට ද ඇතුලත් කළේය. කෝවිඩ් නොවේ නම් සංගීත සංදර්ශනයක් ද තබනු නොඅනුමනය. මැතිවරණ කොමිසම ‘අඛණ්ඩ, අවිච්චින්න හා නෛතික’ යැයි කාටවත් අවම වශයෙන් කැෆේ සංවිධානයටවත් තවම සිහි වී නැත.

අද මැතිවරණ කොමිසම් ගොඩනැගිල්ලේ මැතිවරණ කොමසාරිවරුන්ගේ ඡායාරූප 5 ක් ඇතත්, හයවැන්නා වූ මහින්ද දේශප්‍රිය ගේ පිංතූරයක් බිත්තියේ ද නැති බව කාටවත් මතක් වී ද නැත! අඛණ්ඩත්වය (හිටපු) මැකෝ ගේ ඡායාරූපයෙන් වත් පටන් ගත යුතුව ඇත.

අතීත කතාවක් සිහිකරමි. බදුල්ල සහ අනුරාධපුර සහකාර මැතිවරණ කොමසාරිස් වූ ටී.කේ. දසනායක (ටික්කා) 1977 දී අනුරාධපුර දිසාපති ලෙස පත් වූවේ ඔහුගේ දක්ෂ, නිහතමානී, අපක්ෂපාතීත්වය නිසාමය. පසුව අමාත්‍යාංශ ලේකම්වරයෙකු වී, විශ්‍රාම ලැබීමෙන් පසුව එතුමා මධ්‍යම පළාතේ පස්වන ආණ්ඩුකාරවරයා පත් විය. අභියෝග ජයගන්නා පරිපාලන නිලධාරීන්ට ඉස්සර දේශපාලනඥයින් කැමතිය. දසනායක මැතිතුමා සමඟ චාල්ස් මැතිනිය ගේ ඉරණම, ජීවන් ත්‍යාගරාජා මැතිතුමා ගේ පත්වීම් කිරා මැන බැලීම කියවන ඔබට බාරය.

ආණ්ඩුකාර ධූරය නිල ධූරාවලියේ මැතිවරණ කොමිසමට බො‌හෝ ඉහලින් ඇත්තේය. පණිවුඩය පැහැදිලිය. ජීවන් ත්‍යාගරාජා ලෙස ඉහළට යන්නට තවත් කොමසාරිස්වරුන්ට අවස්ථාව තිබේ. මැතිවරණ කොමසාරිස්වරුන් විශ්‍රාම ගිය විට විදේශීය දුත මණ්ඩලවලට පත් කිරීමේ සම්ප්‍රදායක් තිබුණි. හිටපු කොමසාරිස් ෆීලික්ස් ඩයස් අබේසිංහ ඔස්ට්‍රේලියාවේ මහ කොමසාරිස් ධූරය ද, එම්.ඒ්. පියසේකර ඉතාලියට ද, පත්විය. චන්ද්‍රාන්ද සිල්වා ආරක්ෂක ලේකම් වී පසුව කැනඩාවේ මහ කොමසාරිස් ධූරයට පත් කළ නමුත් කැනඩාව ඔහුගේ අක්ත පත්‍රය බාර ගත්තේ නැත. (අරුල්ප්‍රකාසම් කොමසාරිස්තුමා තනතුරෙන් ඉවත්වූවේ එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාගේ මැතිවරණ දිනය වෙනස් කිරීම පිළිබඳ ඉල්ලීමක් ප්‍රතිකේෂ්ප කරමිනි. ඔහුට, සෑම කොමසාරිස්වරයෙකුට ලැබුණු වසරක සේවා දිගුව ලැබුණේ නැත) ** තනතුරක් දරන නිසා මහින්ද දේශප්‍රිය ගැන සටහන් නොකරමි.

චාල්ස් මහත්මිය හිටපු තේරීම් භාර නිලධාරිනියකි. ඡන්ද ලියපදිංචි කිරීමේ නිලධාරියාය. ඊපීඩීපී, කරුණා, පිල්ලෙයාන්, ඊරෝස්, අමීර් අලී, හිස්බුල්ලා, ද්‍රවිඩ ජාතික සන්ධානය, ජිහාඩ් සංවිධාන, රාපප්පු ජෝෂප් රදගුරුතුමන්, රිෂාඩ් බදූර්දීන් කලමනාකරණය කළ දිසාපතිනියයි. 2010 රිෂාඩ් බදූර්දීන් ‘අවුට් ඔෆ් බවුන්ඩ්’ කළ හැටි මට සිහිවේ. 2012 ලංකාවේ ලොකුම කටවුට් ඒක පිල්ලෙයාන්ගේ කැපූ හැටි සිහිවේ. 2010 ඡන්දය දවසේ රදගුරු රාපප්පු ජෝෂප් සමඟ පැටළුණු හැටි සිහිවේ. 2010 නොමිලේ ඡන්දදායකයින් ප්‍රවාහණය කළ හැටි සිහිවේ. යුද්ධයක් සමඟ පරිපාලනය කර ඇය එල්.ටී.ටී.ඊ. න් ද ජීවිතය ද, ආණ්ඩුවෙන් රස්සාව ද බේරාගත්තේය.

කාන්තාවන් දුෂණ වංචා සිදු නොකරන්නේය යන පදනමින් මංගල සමරවීර අමාත්‍යවරයා විසින් රේගු අධ්‍යක්ෂ ජෙනරාල් ලෙස පත් කළ ගැහැණිය යි. තැපැල් දෙපාර්තමේන්තු මහ පුටුවටත් තමන්ගේ ඒකෙක් හොයන යුගයක, රේගු නිලධාරීන් 35 කගේ වැඩ තහනම් කළ නමුත් යවන්නට එපා යැයි කියූ අධ්‍යක්ෂ ජෙනරාල්වරිය යි. මාසයක් තුල සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසර ගණන් හිරවූ කලමනාකරන ගැටළු විසඳු ලේකම්වරිය යි.

ඇය වසර 20 ක් ආයතන ප්‍රධානියෙකි. කිසිදු චෝදනාවකට ලක් නොවූ චරිතයකි. දැන් ඇය මැතිවරණ කොමිසමේ තවත් ඒක් සාමාජීකාවකි.

අනේ කවුරුවත් කතාවක් නැත.

යුධ සමයේ මඩකලපුව, වව්නියාව ජයගත් ඇය, පශ්චාත් යුධ සමයේ කීර්තියෙන් බැබළුණු ඇය උතුරෙන් අයින් කළ හේතුව උතුරේ දිස්ත්‍රික් පහේ කිසිදු බල කඳවුරකට ගැති නොවීම නොවේ. උතුරු පළාතේ ප්‍රධාන ලේකම් සමන් බන්ධුසේන එම තනතුරට පත් වූවේ චාල්ස් ආණ්ඩුකාරවරියගේ නිර්දේශයෙන් නොවේ. දෙමළ ත්, ඉංග්‍රීසි භාෂාවත් දෙකම බැරි පළාතේ ප්‍රධාන ලේකම් වෙනුවට තනතුර නැති වූනේ චාල්ස් ගේ ය. (විශේෂ ශ්‍රේණියේ පරිපාලන තනතුරු 14 (පළාත් සභාවේ 8 ක් + දිසාපති 5) කි. ඒ තනතුරු අතරින් එකකට පරිපාල භාෂා දෙකම නොදත් 1998 කණිෂ්ඨ නිලධාරියෙකු පත් කිරීම තුලින් ඇතිවූ අවුල ගැන පරිපාලන නිලධාරීන් හෝ කතා නොකරයි.

20 න් හදපු කොමිෂන් සභා ‘පිං ගොනා’ නැත්තම් වෙන මොකාද?

චාල්ස් මැතිණිය ඉවත් කළ ආකාරය ගෞරවනීය නැත. චාල්ස් මහත්මිය මැතිවරණ කොමිසමට ආලෝකයක් ඒකතු කරනු ඇත්තේ එම තනතුර දරණ ප්‍රථම හා එකම කාන්තාව නිසා නම් නොවේ.

චාල්ස් මහත්මිය ගේ නම අනුමත වන්නට පෙර, මැතිවරණ කොමිසම අපූරු වැඩක් කළේය. ඒ හිටපු ද්‍රවිඩ ජාතික මිනින්දෝරු වෘත්තියට සම්බන්ධ නිලධාරියෙකුගේ නම කොමිසමේ සමාජිකත්වයට යෝජනාවක් සම්මත කර ලිපියක් ලිවීමෙනි. කොමිසමට ද්‍රවිඩ ජාතික නියෝජනයක් සඳහා යැයි කියමින් ඒ යෝජනාව සැකසී තිබුණි. (එවැන්නක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නැත) කොමිසම විසින්ම, කොමිසමට සාමාජිකයින් යෝජනා කිරීම ද, අලුත් සම්ප්‍රදායකි.

කවුරුවත් ප්‍රතිචාර දක්වන්නේ ද, කෝප ගන්නේ ද, විහිළු කරන්නේ ද, කිචෝක් දාන්නේ ද නැත.

පිංගොනාට එළවළු කඩෙන් ගෝවා කොළ ය. පළතුරු කඩේන් මල් ඇවරිය ලැබේ.

මිනිසුන්‌ගේ සිත් රිදෙන දේ ලිවීමෙන් වැලකීමට මම උත්සහ දරමි. මේ ලිපියෙන් කොමිසමක් හතේ කිසිදු කොමසාරිවරයෙකු නිලධාරියෙකු සිත් රිදවා නොගන්නවා ඇතැයි ද මම සිතමි. 20 වන ව්‍යවස්ථා සංශෝධන විසින් බිහිකළ කොමිෂන් සභා ‘පිං ගොනා’ සේ වන බව දැන එයට විරුද්ධව මම එදා උසාවි ගියෙමි. කළ හැකි සැම දේ කළෙමි. දැන් මාගේ සිතුවිල්ල නිවැරදි යැයි තහවුරු වී ඇත.

කොමසාරිස්වරු සියලු දෙනා ආණ්ඩුකාරවරු වූ නමුත් කවුරුත් කතා නොකරනු ඇත. රාජා කොල්ලුරේ මැතිතුමා ඇතුළු සියළු ආණ්ඩුකාරතුමා හෙට කොමිසමට පත් කළ ද, කවුරුත් කතා නොකරනු ඇත.

චාල්ස් සහ ත්‍යාගරාජා ගේ පත්වීම් ගැන විවෘතව දකින ලෝකය අදට වඩා සුන්දර වනු ඇත්තේය.

– රජිත් කීර්ති තෙන්නකෝන් –

RECENT ARTICLES - SINHALA

අත්අඩංගුවට ගත් රූපවාහිනී නිවේදිකාවට ඇප

සමාජ මාධ්‍ය ජාලා මගින් ප්‍රචණ්ඩත්වය පැතිරවීමට ආධාර අනුබල ලබාදීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් රූපවාහිනී සංස්ථාවේ නිවේදිකාවක් වන වසුන්දරා ගමගේ මහත්මියට ඇප ලබාදී...

පවිත්‍රා වන්නිආරච්චි CID යට

හිටපු අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය හා ඇයගේ සැමියා වන කාංචන ජයරත්න මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබෙනවා. ඒ පසුගිය...

රූපවාහිනී නිවේදිකාවක් අත්අඩංගුවට

සමාජ මාධ්‍ය ජාලා මගින් ප්‍රචණ්ඩත්වය පැතිරවීමට ආධාර අනුබල ලබාදීමේ චෝදනා මත රූපවාහිනී නිවේදිකාවක් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පවසනවා. 39...

RECENT ARTICLES - ENGLISH

Senior DIG Deshabandu Tennakoon assaulted

0
Senior DIG in charge of the Western Province Deshabandu Tennakoon was assaulted by a group on Tuesday (10) afternoon.

President declares State of Emergency

0
President Gotabaya Rajapaksa has declared a state of emergency with effect from midnight today, President’s Media Division informed. The...

Yoshitha to Sue AKD

0
Yoshitha Rajapaksa, the Chief of Prime Minister's Staff said that he would file law suit against the claims made by JVP Leader...