පාර්ලිමේන්තුවේ ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් ඕනෑම පරීක්ෂණයකට මුහුණ දීමට තමා සූදානම් බව සමගි ජන බලවේගය පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පවසනවා
ඒ, ඊයේ (25) දින පාර්ලිමේන්තුව අමතමින්.
සැකකටයුතු පාර්සලයක් පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් පාර්ලිමේන්තු සංකීර්ණයට රැගෙන එන ලදැයි ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් පාර්ලිමේන්තුවේදී පෙරේදා දින නැගූ චෝදනාවට මුලසුනේ අවසරය ඇතිව පිළිතුරු දෙමින් ඔහු පවසා සිටියේ පාර්ලිමේන්තුවට තමා රැගෙන ආවේ තමාගේ බෑගය සහ කුඩා විදුලි පන්දමක් පමණක් බවයි.
තමාගේ බෑගය භාණ්ඩ පරීක්ෂා කිරීමේ යන්ත්‍රය මගින් පරීක්ෂාවට ලක් කෙරුණු බවත් භයානක කිසිවක් තමා පාර්ලිමේන්තුවට රැගෙන නොපැමිණි බවත් තමා පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා නොකළ බවත් මන්ත්‍රීවරයා පවසනවා.
එමෙන්ම, තමා රන්ජන් රාමනායක හිටපු මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් යම් දෙයක් ලබන සතියේ කිරීමට සූදානම් වන බව පැවසූ හරීන් ප්‍රනාන්දු මහතා එම කටයුත්තට බාධා නොකරන්නැයි තමා රජයෙන් ඉල්ලීමක් කරන බවත් වැඩිදුරටත් පවසා සිටියා.