ඇතැම් විට වැලි ආනයනය කිරීමට සිදුවිය හැකි බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.
ඒ, ඊයේ (12) දින පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමින්.
තවත් වසර කිහිපයකින් රට තුළ වැලි හිඟයක් ද ඇතිවන බවයි ඔහු පවසන්නේ.
විශේෂයෙන්ම කොළඹ වරාය නගරයේ ඉදිකිරීම් සඳහාත් මුහුදු වැලි හෝ විදේශවලින් ගෙන්වාගත් වැලි භාවිතා කිරීමට සිදුවනු ඇතැයි කී ඇමතිවරයා ගංගාවලින් ලබාගන්නා වැලි වරාය නගරයට දීමේ වගකීම භාරගත නොහැකි බව ද සඳහන් කරනවා.
කොළඹ වරාය නගරයේ සිදුකරන කටයුතු හැර 2025 වසර දක්වා රටේ ඉදිකෙරෙන සවර්ධන ව්‍යාපෘති හා අනෙකුත් ඉදිකිරීම් වෙනුවෙන් අවශ්‍ය වැලි ප්‍රමාණය ඝනමීටර මිලියන 57 ක් ලෙස ගණන් බලා ඇති බවත්, ඉන් සපයාගත හැක්කේ ඝනමීටර මිලියන 42ක් පමණක් බවත් කී ඇමතිවරයා ඉතිරි ඝනමීටර මිලියන 15ක හිඟය පියවන්නේ කෙසේද යන්න ගැන සාකච්ඡා කරමින් සිටින බව ද කීවේය.
ඉදිරි සංවර්ධන කටයුතු සඳහා අවශ්‍ය ගල්, පස් බොරළු, මැටි ආදිය මෙරටින් සපයාගත හැකි නමුත් වැලි ප්‍රමාණය සොයාගැනීමට ගැඹුරු මුහුදින් වැලි ලබාගැනීම මේ වන විටත් යම් තරමකින් සිදුවන බවත් ගංගාවලින් මෙන්ම ගැඹුරු මුහුදින් වැලි ලබාගැනීම සම්බන්ධයෙන් මේ වන විටත් ජනතාවගේ සහ පරිසර සංවිධානවල විරෝධය එල්ල වන බව කී ඇමතිවරයා ගැඹුරු මුහුදෙන් ද අවශ්‍ය තරම් වැලි ලබාගැනීමට නොහැකි වුවහොත් ආනයනය හැර විකල්පයක් නොමැති බවත් පවසනවා.
ලබන වසරෙන් පමණ පසු මහා පරිමාණ ව්‍යාපෘති සඳහා කොන්ත්‍රාත් දීමේදී වැලි සපයාගන්නා ලෙස දැනුම්දීමට සිදුවනු ඇති බවත් මෙරටින් විදේශවලට වැලි ගෙනයන බවට පැතිර ගිය ප්‍රකාශවල සත්‍යතාවක් නොමැති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පවසනවා.