29 C
Colombo
Wednesday, June 7, 2023

මනුෂ්‍යත්වයට ගිනි තැබූ පාකිස්ථාන අන්තවාදීන්

- Advertisement -

පාකිස්ථානයේ සියල්කොට් නගරයේ දී දේව අපහාසයක් කළැයි කියන චෝදනාව මත පාකිස්ථානයේ මැර පිරිසක් විසින් සිකුරාදා ශ්‍රී ලාංකිකයෙකු ඝාතනය කර තිබුණා. 40 හැවිරිදි ප්‍රියන්ත කුමාර, නම් ඔහු පකිස්ථානයේ පන්ජාබ් පළාතේ සියල්කොට් හි වසිරාබාද් පාරේ පිහිටි පෞද්ගලික කර්මාන්ත ශාලාවක මෙහෙයුම් කළමනාකරු ලෙස පසුගිය වසර හතක සිට සේවය කළ අයෙක්.


පොලිසිය පවසන පරිදි, ප්‍රියන්ත කුමාර මුහම්මද් නබිතුමාගේ නම සඳහන් පෝස්ටර් ඉරා දමා කුණු කූඩයකට දමනු දුටු බව කර්මාන්තශාලා සේවකයින් ප්‍රකාශ කිරීමෙන් පසු නොසන්සුන්කාරී තත්ත්වය උද්ගතව තිබෙනවා. එහිදී යාබද ප්‍රදේශවලින් පැමිණි පිරිස් ද කර්මාන්ත ශාලාවේ සේවකයන් සමඟ එක්ව ප්‍රියන්තට අමානුෂික ලෙස පහරදී වද හිංසා පමුණුවා ඝාතනය කර තිබෙනවා. ඔහුගේ සිරුරට ගිනි තබන අයුරු සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ වීඩියෝ දර්ශනවල දක්නට ලැබුණා. සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වන්නේ පාකිස්ථානය තුල කලක් තහනම් සංවිධානයක් ලෙස නම් කර තිබූ Tehreek-e-Labbaik Pakistan(TLP) අන්තවාදී සංවිධානයටයි.
එම ස්ථානයට එක් වූ සිය ගණනක පිරිස් ඉස්ලාම් සටන් පාඨ කියමින් සිටින ආකාරය දක්නට ලැබුණා.
පේරාදෙණිය සරසවියෙන් 1993 වසරේදී ඉංජිනේරු විද්‍යාවේදී උපාධියක් ලද ප්‍රියන්ත කුමාර දියවඩන පාකිස්ථානය වෙත ගොස් ඇත්තේ මීට වසර 11 කට පෙරයි.


2010 වසරේදී ඔහු පාකිස්ථාන ක්‍රසන්ට් ටෙක්ස්ටයිල් ඇඟළුම් කර්මාන්තශාලාවේ කාර්මික ඉංජිනේරු කළමනාකරු ලෙස සේවයට එක්වූ අතර, 2012 වසරේදී සියල්කොට් හි රාජ්කෝ කම්හලේ සාමාන්‍යාධිකාරී ලෙස සේවයට එක්වී තිබෙනවා.


පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ නිල ඇඳුම් සපයා ඇත්තේද අදාළ ඇඟලුම් කර්මාන්තශාලාව මගින්.
කෙසේ වෙතත් පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ප්‍රකාශ කළේ ශ්‍රී ලාංකික කම්හල් කළමනාකරුට මෙම කුරිරු අමානුෂික ප්‍රහාරය එල්ල කළ දිනය පාකිස්ථානය ලජ්ජාවට පත්කළ දිනයක් බවයි.
සිද්ධියට සම්බන්ධ වූවන් නීතිය ඉදිරියට පැමිණවීම සඳහා තමා පුද්ගලිකව මැදිහත්වී කටයුතු කරන බවටද ඔහු ප්‍රතිඥාදී තිබෙනවා.


ශ්‍රී ලාංකික කම්හල් කළමනාකරුට පහරදී ඝාතනය කිරීම මෙන්ම ඔහුගේ සිරුර මහමග පිළිස්සීමේ සංවේදී දර්ශන ඇතුළත් වීඩියෝ දර්ශන සමාජ මාධ්‍යවලට මුදා හැරීමට එම පිරිස කටයුතු කර තිබුණා. කෙසේ වෙතත් ඊට සහභාගිවූවන් තම අනන්‍යතාව සැඟවීමට කිසිදු උත්සාහයක් ගෙන නොමැති වීම විශේෂත්වයක්.
ප්‍රධාන සැකකරු ෆර්හාන් ෆෙරිසස් නමැත්තා ඇතුලු මෙම ඝාතනය සම්බන්ධයෙන් පුද්ගලයන් 100 කට වැඩි පිරිසක් මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.


මේ අතර ප්‍රියන්ත කුමාර මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසන්නේ මෙම අමානුෂික ඝාතනය පිළිබඳ තමන් සංවේගයට පත් වූ බවත් එම මිලේච්ඡ සිදුවීම ලාංකිකයන්ට සේම මනුෂ්‍යත්වය අගයන ලෝකයේ සැමට බලවත් කම්පනයක් බවයි.
එසේම අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ප්‍රමුඛ පාකිස්ථාන රජය යුක්තිය පසිදලීමට ගත් ක්‍රියාමාර්ග පාකිස්ථානයේ මිතුරෙකු ලෙස ශ්‍රී ලංකාව අගය කරන බවත් පාකිස්ථානයේ ඉදිරි ක්‍රියාමාර්ග ලෙස දැඩි විශ්වාසයෙන් බලාසිටින බවත් ජනාධිපතිවරයා අවධාරණය කරනවා.


පාකිස්ථානයේ වෙසෙන සෙසු ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව සුරක්ෂිත කරන ලෙසද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාකිස්ථාන රජයෙන් ඉල්ලා සිටිනවා.
මේ අතර ප්‍රියන්ත කුමාර මහතා ම්ලේච්ඡ ලෙස ඝාතනය කිරීමේ සිදුවීමට සම්බන්ධ සියලු අපරාධකරුවන්ට නීතිය උපරිමයෙන් ක්‍රියාත්මක කරන බවට පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට සහතික වී ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළා.
ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ ජනාධිපතිවරයා වෙත දුරකථන ඇමතුමක් ලබාදෙමින් පාකිස්ථානු අග්‍රාමාත්‍යවරයා මේ බව සදහන් කළ බවයි.


අපරාධකරුවන්ට දෙවියන් වහන්සේගෙන් සමාවක් නැති අතර නීතියෙන්ද ඔවුන්ට කිසිදු සමාවක් හිමි නොවන බවත් වැරදිකරුවන්ට උපරිම දඬුවම් ලබා දෙනු ඇති බවට ශ්‍රී ලංකා රජය සහ ජනතාව තබා ඇති විශ්වාසය උපරිමයෙන් තහවුරු කරන බවත් පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පවසා තිබුණා.
පාකිස්තානයේ ලාහෝර් නුවරදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමටද මීට වසර 12කට පෙර 2009 වසරේ අන්තවාදී ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වූ අතර, ලාහොර් නුවර ගඩාෆි ක්‍රීඩාංගණය ඉදිරිපිටදී තුවක්කුකරුවන් 12 දෙනෙකු එල්ල කළ ප්‍රහාරයෙන් පොලිස් නිලධාරීන් 6 දෙනෙක් සහ රියැදුරෙක් එම වෙඩි තැබීම්වලින් ජීවිතක්ෂයට පත් වූ අතර ක්‍රීඩකයින් දෙදෙනෙකුද තුවාල ලැබුවා.


කෙසේ වෙතත් ඉන්පසුව පාකිස්ථානයේ ක්‍රිකට් ක්‍රීඩා කිරීමට කිසිදු කණ්ඩායමක් ඉදිරිපත් නොවූ පසුබිමක 2019 වසරේ ඒ වෙනුවෙන් පළමුව ඉදිරිපත් වූයේද ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමයි.
මේ ඝාතනය සිදු වන්නේ පකිස්තානයේ පවතින blasphemy නීති යටතේයි. ආගමික විශ්වාසයන් හට අගෞරව කරන්නෙකුට ලබා දෙන දඬුවම් සම්බන්ධව මෙම නීති ඔස්සේ කියවෙනවා.
බ්‍රිතාන්‍යයන්ගේ පාලන කාලයේ සිට මෙම නීති, වසර 5 හෝ 3 වැනි සිර දඬුවම් ලබා දෙමින් පවත්වාගෙන ආ පකිස්තානය, 1980 දශකය තුල දී සිය ආගමික ශාස්තෲ වරයා හට අගෞරව කරන්නන් හට මරණ දඬුවම හෝ ජීවිතාන්තය දක්වා සිර දඬුවම් හිමි විය යුතු බවට, සංශෝධනය කළා.
මේ ක්‍රියාත්මක වෙන්නේ එම නීතිය නෙමෙයි. එහි කැලෑ නීතිය.


අන්තර්ජාතික මාධ්‍යයන්ට අනුව, පකිස්තානය තුල පෞද්ගලික පලිගැනීම් වලට පවා බහුල වශයෙන් මෙම නීති පාවිච්චි වෙනවා. පොලීසිය විසින්, දේශපාලකයන් විසින්, ප්‍රාදේශීය නායකයන් විසින්, තමන්ට විරුද්ධව යන බොහෝ අය නිහඬ කිරීම සඳහා මෙම නීති අනිසි විදිහට පාවිච්චි කරන බව සඳහන්.
ඉස්ලාම් භීතිකාව සම්බන්ධයෙන් ලෝකයට දොස් පැවරීමට ඉම්රාන් ඛාන් කටයුතු කරමින් සිටින අතර, පාකිස්ථානයේදී මුස්ලිම් නොවන ජාතීන්ට අයත් පුද්ගලයින් අමානුෂික ලෙස ඝාතනය කෙරෙමින් තිබෙනවා.
පාකිස්ථානය ශ්‍රී ලංකාව ආකර්ශනය කර ගැනීම සඳහා තම බෞද්ධ උරුමය ප්‍රවර්ධනය කරන අතරේ, රැඩිකල් මැර කල්ලි ඉස්ලාම් ධර්මයට අපහාස කිරීමේ ශ්‍රී ලාංකිකයන් ඝාතනය කරමින් සිටීම උත්ප්‍රාසජනකයි. ප්‍රජාතන්ත්‍රීය වටිනාකම් අගය කරන ලෝකය පිළිනොගන්නා තිරශ්චීන නීති හා සම්ප්‍රදායන් මත තීන්දු ගන්නා අන්තවාදීන් සම්බන්ධයෙන් සෘජු ප්‍රතිපත්තියක පිහිටා කටයුතු නොකරන බවට ඉම්රාන් ඛාන්ට චෝදනා එල්ල වන්නේ දීර්ඝ කාලයක සිටයි.


Tehreek-e-Labbaik Pakistan(TLP) අන්තවාදීන් පසුගිය දිනෙක පෙෂාවර් අසල වයඹදිග පාකිස්ථානයේ චර්සද්දා හි පොලිස් ස්ථානයක්, පොලිස් මුරපොලවල් සහ නවතා තිබූ මෝටර් රථවලට ගිනි තබා, ප්‍රචණ්ඩ ක්‍රියාවල නිරත වුණේ පොලිස් අත්අඩංගුවේ සිටි කුරානයක පිටපතක් පුළුස්සා දැමූ බවට චෝදනා එල්ල වූ පුද්ගලයෙකු තමන්ට භාර දෙන ලෙස ඉල්ලමින්.


පාකිස්ථානයේ මානව හිමිකම් ක්‍රියාකාරිනියක වන හිනා ජිලානි පැවසුවේ පකිස්ථානයේ මෙවැනි ඝාතන බහුලව සිදුවන බවයි. ඒ සම්බන්ධයෙන් සමාජය සහ රාජ්‍යය කඩිනම් අවධානය යොමු කළ යුතු බව ඇය පවසනවා. “දැනටමත් නීති කිහිපයක් ඇතත් තවමත් සුළු ජාතීන්ට සහ පුරවැසියන්ට ආරක්ෂාවක් නොමැති අතර, රජය කිසිදු සමාජ ප්‍රතිපත්තියක් සකස් නොකරන්නේ නම්, දේවල් යහපත් නොවනු ඇතැයි,” ඇය මාධ්‍ය හමුවේ පැවසුවා.
පකිස්ථානය මේ වනවිට අසමත් රාජ්‍යය් බවට පත්ව තිබෙනවා. අසමත් රාජ්‍යයක දැකිය හැකි වංචාව, දූෂණය, නීතියේ ආධිපත්‍ය බිඳ වැටීම, ප්‍රජාතන්ත්‍රවාදය බිඳ වැටීම, හමුදා තන්ත්‍රය සහ ආගමික පූජකයින් රාජ්‍යයට බලපෑම් කිරීම ආදී කී-නොකී සියල්ල පකිස්ථානය තුල ප්‍රබල ලෙස වර්ධනය වෙමින් තිබෙනවා. ආර්ථිකමය ලෙස රට බංකොලොත් වී ඇති බව පසු ගිය දිනවල පකිස්ථානයේ අගමැති ඉම්රාන් ඛාන් පැවසුවා.
ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩකයෙකු වූ පමණින් රටක් පාලනය කළ නොහැකි බව ඉම්රාන් ඛාන් සපථ කරමින් සිටින සත්‍යයි.


ඉම්රාන් ඛාන්ට පාලනය කළ නොහැකි ප්‍රධාන අංග දෙකක් එ‍රට දේශපාලනයේ තිබෙනවා. එකක් ආගමික මුල්ලාවරුන්ගේ ආධිපත්‍යයි. අනෙක් කොටස හමුදාවේ අධිකාරිත්වයයි. මේ කොටස් දෙක කියන කියන පදයට නටනවා හැරෙන්නට ඉම්රාන් ඛාන්ට කළ හැකි අන් යමක් නැහැ

RECENT ARTICLES - SINHALA

මැති ඇමති නොවන පිරිසකට ආරක්ෂකයන් 5400ක් දීලා

ඇමැතිවරුන්ට මන්ත්‍රීවරුන්ට අමතරව වෙනත් පුද්ගලයන්ට ප්‍රභූ ආරක්ෂකයන් 5400ක් ලබාදී ඇතැයි තොරතුරු අනාවරණය වන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පාර්ලිමේන්තුවේදී අද(06)...

ගුවන් යානා ගොඩ බැස්සවීමේ ගාස්තු අඩකින් අඩුවෙයි

ගුවන් යානා කටුනායක ගුවන් තොටුපොළට ගොඩබෑමේ ගාස්තු වසරක් දක්වා සියයට 50 කින් අඩු කිරීමට රජය තීරණය කර ඇතැයි වරාය නාවික සහ ගුවන්...

මෛත්‍රිපාල ශ්‍රී ලංකන් එකට දෙහි කපයි

ශ්‍රී ලංකා ගුවන් සේවයේ බත් පැකට් එකේ ඉදල තියෙන්නෙ ගැහිල්ල බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් පාර්ලිමේන්තුවේදී අද (6) ප්‍රකාශ කළා.

RECENT ARTICLES - ENGLISH

Essential drug prices to be reduced from 15 June

0
The Cabinet of Ministers approved the proposal raised by the Minister of Health to reduce the maximum retail price of 60 medicines...

Nearly 80 students, mostly girls, are poisoned in Afghanistan

0
Nearly 80 primary school students, mostly girls, are suspected to have been poisoned over the weekend and taken to hospital in Afghanistan’s...

Delays in trials pertaining to child abuse cases studied

0
The Sectoral Oversight Committee on Children, Women and Gender looks into the prevention of delays in trial pertaining to the cases of...