28.1 C
Colombo
Friday, April 26, 2024

රනිල්ගේ කම්බි වැට හා වෛරී ප්‍රකාශ

- Advertisement -

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවසේ තාප්පයට ඉහළින් කම්බි වැටවල් පේලි කිහිපයක් ඉදිකර ඔහුගේ ආරක්ෂාව තරකර ඇති බවට දැක්වෙන ඡායාරූපයක් සමාජ මාධ්‍ය තුළ පසුගිය දින කිහිපයේ සමාජ මාධ්‍ය ඔස්සේ වේගයෙන් පැතිර ගියා.

පසුව අනාවරණය වුණේ මෙය විදෙස් රටක ඡායාරූපයක් බවයි.

මෙම සිදුවීමත් සමඟ මෙරට සමාජ මාධ්‍ය ඔස්සේ පලවන අසත්‍ය ප්‍රචාර මෙන්ම වෛරී ප්‍රකාශ පිළිබදව සාකච්ඡාවක් ඇතිව තිබෙනවා.

වෛරී ප්‍රකාශ පළකිරීම සහ ඒ සඳහා අසත්‍ය පුවත් යොදාගැනීම සමාජ මාධ්‍ය ජාලවල බරපතළ තත්ත්වයකි. සමාජ මාධ්‍ය සාක්ෂරතාව පිළිබඳ බරපතළ ගැටළු ඇති ලංකාව වැනි රටක, මේ තත්ත්වය පාලනය කිරීම අතිශය අසීරු කටයුත්තකි.
මේ අසත්‍ය පුවත් Dis-information (අසත්‍ය තොරතුරු), Mis-information (වැරදි තොරතුරු), Mal-information (යම් තොරතුරක් සත්‍ය වුවත්, එය පළකිරීමෙන් සමාජයට, පුද්ගලයන්ට හානියක් වන තොරතුරු) ලෙස හඳුනාගත හැකිය.
එවැනි තත්ත්වයක් තුළ මේ අසත්‍ය පුවත් අභියෝගය ජයගන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් පුළුල් සංවාදයක් අවශ්‍ය වේ.

අභියෝගය
ලංකාවේ සමාජ මාධ්‍ය භාවිත කරන අතිශය බහුතරයක් අසත්‍ය පුවත්, එහෙමත් නැත්නම් ෆේක් නිව්ස් පිළිගනී. එසේම ඔවුහු තර්කයකින් තොරව තමන්ගේ මතවාද සමග ඒවා ඉදිරියට ගෙන යෑමට ද කටයුතු කරති. එවැනි තත්ත්වයක් තුළ සත්‍ය පුවත් සමාජගත කිරීම බරපතළ අභියෝගයකි.
එහෙත් එය ජයගත හැකි අභියෝගයකි. ඒ සඳහා ව්‍යාජ පුවත් යනු මොනවාද යන්න නිවැරදිව හඳුනාගත යුතු වේ. සමාජ මාධ්‍ය තුළ පමණක් නොව, පුවත්පත් – ගුවන්විදුලි – රූපවාහිනී ඇතුළු සාම්ප්‍රදායික මාධ්‍ය තුළත් ඒ වෙනුවෙන් නිවැරදි අර්ථනිරූපණයක් තිබිය යුතුය. අනෙක් අතට ඒ වෙනුවෙන් වන දැනුම් පද්ධතියක්, නැතහොත් සාක්ෂරතාවක් තිබිය යුතුය.

හඳුනාගැනීම
ලෝකය පුරා ම මේ මොහොතේ අප අත්දකිමින් සිටින්නේ ව්‍යාජ පුවත්, වෛරී ප්‍රකාශ හඳුනාගැනීමේ ගැටළුවයි. විශේෂයෙන් ම කොවිඩ් 19 වසංගතයත් සමග මෙය වඩාත් වේගවත් විය. දේශපාලන ඉලක්ක වෙත ව්‍යජ පුවත් මගින් ජනතාව මෙහෙයවන ආකාරය, නිශ්චිත ප්‍රජාවක් පීඩාවට පත්කිරීම සඳහා ව්‍යාජ පුවත් භාවිත කරන ආකාරය අපි අත්දුටුවෙමු.
සමාජ මාධ්‍යවල අසත්‍ය පුවත් පළකිරීම සම්බන්ධයෙන් තෝරා-බේරාගෙන අත්අඩංගුවට ගැනීමේ සිදුවීම් රැසක් ද පසුගිය කාලයේ අපි දුටුවෙමු. එහිදී ඇතැම් පාර්ශ්ව පළකළ අදහසක් වූයේ ආණ්ඩුව පාර්ශ්වයෙන් අසත්‍ය පුවත් අභියෝගය ජයගැනීමට කටයුතු කරමින් සිටින බවයි. එය වාසිය සඳහා කළ මෙහෙයුමක් පමණක් බව ඉතා ඉක්මනින් පැහැදිලි විය.

විසඳුම්
එසේම අසත්‍ය පුවත් පළකරන්නෙකු අත්අඩංගුවට ගැනීම මගින් මේ තත්ත්වය පාලනය කළ හැකි යැයි කිසිවෙකු විශ්වාස කරන්නේ නම්, එය බරපතළ මුලාවකි. සමාජ මාධ්‍ය වැනි පුළුල් අවකාශයකදී එය තාවකාලික තත්ත්වයකි.
ලංකාව, ඉන්දියාව, නේපාලය වැනි රටවල් මේ අත්අඩංගුවට ගැනීමේ ක්‍රමය සිදුකරමින් සිටී.

නිර්ණායක
අනෙක් අතට මේ අත්අඩංගුවට ගැනීම්වලදී මතු වන තවත් වැදගත් ප්‍රශ්නයක් වන්නේ පුවතක් අසත්‍ය ද යන්න තීරණය කරන්නේ කවුද, කුමන නිර්ණායක මත ද යන්න ය. පොලිසියට එය සිදු කළ නොහැකිය. නීතිපති දෙපාර්තමේන්තුවට හෝ අධිකරණයට ද එය කළ නොහැකිය. ඊට හේතුව වඩාත් පැහැදිලිව පෙනෙන අසත්‍ය පුවත්වලදී හැර, අනෙකුත් තැන්වලදී එය හඳුනාගැනීම සම්බන්ධයෙන් වන විධිමත් – පිළිගත් නිර්ණායක නොමැති වීම ය.

මුල් ම ෆේක් නිවුස් එක
වෛද්‍ය සාෆි සම්බන්ධ සිදුවීම අසත්‍ය පුවත් සම්බන්ධ බරපතළ හා තීරණාත්මක උදාහරණයකි. එය නිවැරදි කිරීමක් සිදු වූයේ නැත. ඒ පිළිබඳ වගකීම කිසිවෙකු ගත්තේ නැත. පෞද්ගලික ව කෙසේ වෙතත්, පොදුවේ සමස්ත සමාජයට සිදු වූ හානිය එසේ ම ය. තවත් උදාහරණයකි, විදුලි පුටුව.
එය මෙරට මුල් ම දේශපාලනික ෆේක් නිවුස් එක යනුවෙන් ද හැඳින්විය හැකිය. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා යුද අධිකරණයට ගෙන යන බවත්, එහි විදුලි පුටුවක් ඇති බවත්, ඔහුට දඬුවම් දීම සඳහා එහි වාඩිකරවන බවත් පැවසිණි. එය ප්‍රධාන මාධ්‍ය මගින් පුන-පුනා අවධාරණය කෙරිණි.

සත්‍යය
සත්‍ය කතාව නම් ජාත්‍යන්තර යුද අධිකරණයේ කිසිදු ජීවිත හානිකිරීමක් නොකරයි. ඔවුන්ට එසේ කරන්නට නොහැක. එනම්, මේ සමස්ත විදුලි පුටු කතාව ම අසත්‍යයකි. එහෙත් එය මාධ්‍යයෙන් නිවැරදි ව, ප්‍රමාණවත් තරම් ප්‍රශ්න කෙරුණේ නැත.
එම නිසා තවමත් එම පුවත පිළිගන්නා පුද්ගලයෝ සිටිති. එනම්, මේ අසත්‍ය පුවත් සෘජු ව ම දේශපාලනය හා බැඳී පවතී.

කළ යුත්තේ කුමක්ද?
ඩිජිටල් යුගයේ ජනමාධ්‍යකරණය යනු වෙන ම වැඩකි. එය සාක්ෂරතාව මත රැඳී පවතිනවා සේම, සාක්ෂරතාව තිබූ පමණින් ඒ සමග හැප්පීමට ද නොහැකිය. ඒ නිසා අන්තර්ජාලයේ ඇති මාධ්‍ය හරස්කඩ පිළිබඳ නිවැරදි අවබෝධයක් තිබිය යුතු අතර, ෆේක් නිවුස් සංස්කෘතිය සමග සටන් කිරීමට තරම් දැනුමින් සහ තොරතුරුවලින් සන්නද්ධ වීම ද අත්‍යවශ්‍ය ය.

-ශාලික විමලසේන –

RECENT ARTICLES - SINHALA

ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක්

ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් ජනතාව වෙත විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. මාර්ගගත වීසා අයදුම් කිරීමේදී http://www.immigration gov.lk වෙබ් අඩවියේ e visa සබැඳිය පමණක් භාවිත කරන...

අපරාධකාරයින්ට ගිනිඅවිය භාවිත කරන්න බය වන්න එපා-ටිරාන්

අපරාධකරුවන් තුරන් කිරීම පවක් නොවන අතර අතේ තිබෙන ගිනි අවිය භාවිත කිරීමට පොලිස් නිලධාරීන්ට බිය නොවන ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසනවා ඔහු...

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිරිසේනගේ මැයි රැලිය ගම්පහ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

අරගලයේ වෙනස අපි පටන් ගන්න සුදානම්-නාමල්

අරගල සමයේ සටන් පාඨය බවට පත්වූ ක්‍රම වෙනසක් ඇති කිරීම සිය පක්ෂය තුළින්ම ආරම්භ කිරීමට සූදානම් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු...