33 C
Colombo
Monday, April 29, 2024

රුසියානු – යුක්රේන යුද්ධයෙන් මියයන ශ්‍රී ලාංකික සෙබලුන් ගැන වාර්තාවක්

- Advertisement -

රුසියානු – යුක්රේන යුද්ධය අතරතුර ශ්‍රී ලාංකික සෙබළුන් 5 දෙනෙකු පමණ මේ වන විට මිය ගොස් ඇති බව අල්ජසීරා පුවත් සේවය වාර්තා කරනවා.

එම වාර්තාවල සඳහන් වෙන්නේ රුසියාව වෙනුවෙන් සටන් වැදි ශ්‍රී ලාංකික සෙබළුන් දෙදෙනෙකු සහ යුක්‍රේනය වෙනුවෙන් සටන් වැදි තිදෙනෙකු මෙලෙස මිය ගොස් ඇති බවයි.

කෙසේවෙතත්, මෙවැනි දරුණු තත්වයක වුවද ශ්‍රී ලංකාව මුහුණ පා සිටින ආර්ථික අර්බුදය හමුවේ රුසියානු යුක්රේන යුද්ධය සඳහා එක් වීමට බොහෝ පිරිස් අපේක්ෂාවෙන් සිටින බවද විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙනවා.

රුසියානු – යුක්රේන යුද්ධය සඳහා එක්ව සිටින අතරතුර ජීවිතක්ෂයට  පත් වුණු ශ්‍රී ලාංකික හමුදා සෙබළකු සම්බන්ධ පුවතක් අල්ජසීරා වාර්තා කර තිබුණා.

මෙසේ මිය ගිය ශ්‍රී ලාංකික තරුණයා සම්බන්ධ විස්තරයක් පහතික් දැක්වෙන අතර පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීම සඳහා පුද්ගලයන්ගේ නම් සහ ස්ථාන වෙනස් කර තිබෙනවා.

නිපුණ සිල්වා ලෙස හඳුන්වන 27 හැවිරිදි ශ්‍රී ලාංකිකයකු මෙලෙස මියගොස් තිබෙන අතර, රුසියානු බංකරයක් වෙත එල්ල වූ යුක්රේන ඩ්‍රෝන ප්‍රහාරයකින් ඔහු මියගොස් තිබුණා.

එම අවස්ථාවේ ඔහු සමඟ සමීපයේ සේනක බණ්ඩාර නමැති ශ්‍රී ලාංකිකයකු සිට ඇති අතර, අදාළ ප්‍රහාරයෙන් දරුණු ලෙස තුවාල ලැබූ නිපුන සිල්වා ආරක්ෂිත ස්ථානයක් වෙත රැගෙන යෑමට උත්සාහ කර තිබෙන බව ද ඒ අවස්ථාවේ ඔහු බරපතළ ලෙස තුවාල ලබා සිටි බව ද එම වාර්තා සඳහන් කරනවා.

“මම නිපුන රැගෙන යද්දී අවසාන බංකරය අසල තවත් දැවැන්ත ඩ්‍රෝන් ප්‍රහාරයක් එල්ල වුණා. ඒ අවස්ථාවේ නිපුන බිම ඇද ගෙන වැටුණා. යුක්රේන ඩ්‍රෝන ප්‍රහාර විශාල වශයෙන් එල්ල වන විට නිපුන හැර යෑම හැර වෙනත් විකල්පයක් තිබුණේ නැහැ.” යනුවෙන් සේනක බණ්ඩාර අල් ජසීරා වෙත  WhatsApp ඔස්සේ යොමු කරන ලද හඬ පටයකින් පවසා තිබෙනවා.

පවතින ආර්ථික ගැටලු මත ශ්‍රී ලංකාවේ වාසය කරන තම පවුල ජීවත් කරවීම සඳහා මෙම ශ්‍රී ලාංකික තරුණයා රුසියානු – යුක්රේන යුද්ධය සඳහා රුසියානු හමුදාව සමඟ එක්ව ඇති බව මේ වන විට හෙළි වී තිබෙනවා.

හමුදා වැටුප සිය පවුල ජීවත් කරවීම සඳහා ප්‍රමාණවත් නොවීම හේතුවෙන් නිපුනද, හමුදාවෙන් ඉවත් වී වෙනත් රැකියාවක නිරත වීමට තීරණය කර තිබුණා.

ඒ වන විට ඔහු ශ්‍රී ලංකා හමුදාවේ වසර නවයක පමණ අත්දැකීම් සහිත තරුණයෙක්.

ඒ අනුව, ඔහු රුසියානු හමුදාව සමඟ එක්වීමට පෙර වෙනත් රැකියාවක් සඳහා සිංගප්පූරුව බලා ගොස් තිබූ අතර, එහිදී නියමිත පරිදි රැකියාවක් සහ වැටුප් නොලැබීම හේතුවෙන් රැකියා ඒජන්සියක් මඟින් ගොවිපොළක රැකියාවක් සඳහා රුසියාව බලා පැමිණ තිබුණා.

එම රැකියාවෙන් රුපියල් එක් ලක්ෂ හැට දහසක පමණ වැටුපක් ලැබුණත්  නියමිත පරිදි ආහාර වේලක් හෝ නැතිව දිනකට පැය 14ක් පමණ දුෂ්කර ලෙස සේවය කිරීමට සිදු වීම හේතුවෙන් ඔහු එම ගොවිපොළෙන් ඉවත් වී ඊට වඩා අඩු වැටුපක් ( රු.150,000) ලැබෙන හෝටල් ක්ෂේත්‍රයේ වෙනත් රැකියාවකට යොමු වී තිබෙනවා.

නමුත් එමඟින් ලැබෙන වැටුප තමන් ශ්‍රී ලංකාවේදී ගෙන ඇති ණය ගෙවීමට සහ පවුල ජීවත් කරවීමට ප්‍රමාණවත් නොවීම නිසා ඔහු සිය බිරියට දැනුම් දී ඇත්තේ රුසියානු – යුක්රේන යුද්ධය සඳහා රුසියානු හමුදාව සමඟ එක්වීමට තීරණය කළ බවයි.

බිරිය ඊට දැඩි ලෙස විරුද්ධ වුවත් නිපුන සිල්වා මේ වසරේ ජනවාරි මාසයේදී රුසියානු – යුක්රේන යුද්ධය සඳහා රුසියානු හමුදාව සමඟ එක්වීමට ගිවිසුම් අත්සන් කර තිබුණා.

රුසියානු හමුදාව සමඟ එක්වීමෙන් පසු ඔහු පුහුණු වැඩසටහන් දෙකකට සහභාගි කරවා ඇති අතර, ඉන් අනතුරුව යුද පෙරමුණට යොමු කර තිබෙනවා.

මේ වසරේ ජනවාරි මාසයේදී යුක්රේනයේ සේවය කිරීමට ලියාපදිංචි වීමෙන් පසු නිපුන සිය බිරිඳට සහ මාස 18 පමණ වයසැති පුතුට දිනපතා දුරකථනයෙන් ඇමතුම් ලබා ගෙන තිබුණත් පෙබරවාඩි 21 වන දින සිට එම ඇමතුම් හදිසියේ නතර වී තිබුණා.

 ඒ, යුක්රේනයේ සටන් කිරීම සඳහා වසරක ගිවිසුමක් අත්සන් කිරීම සඳහා නිපුන සිය බිරිඳ වෙත රුසියානු හමුදාවෙන් ලද ඩොලර් 1,640 ක මුදල එවීමෙන් දින දෙකකට පසුවයි.

නිපුන සිල්වා රුසියානු පාර්ශ්වයෙන් යුද්ධය සඳහා එක්ව මියගිය දෙවැනි ශ්‍රී ලාංකිකයා වන අතර, ඊට අමතරව යුක්රේනය වෙනුවෙන් යුද වැදුණු ශ්‍රී ලාංකිකයන් තිදෙනකු ද මේ වන විට ගැටුම්වලදී මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.

කපිතාන් රනේෂ් හේවගේ යුක්රේනය වෙනුවෙන් ඉකුත් දෙසැම්බර් මාසයේදී මියගිය අවසන් ශ්‍රී ලාංකිකයා ලෙස වාර්තා වෙනවා.

මේ අතර, රුසියානු යුක්රේන යුද්ධය සඳහා සහභාගී වී සිටින  ශ්‍රී ලාංකිකයින් මිය ගොස් ඇති පසුබිමක ශ්‍රී ලංකාවේ විශ්‍රාමික සහ වත්මන් හමුදා සාමාජිකයින්ට අනුව තවත් බොහෝ දෙනෙක් ආර්ථික අපහසුතා මත රුසියාව වෙනුවෙන් සටන් වැදීම සඳහා අපේක්ෂාවෙන් සිටින බව අල්ජසීරා වාර්තා කරනවා.

“අඩුම තරමේ මම යුද බිමේ මැරුණොත් මගේ බිරිඳට දරුවන්ට වන්දියක්වත් ලැබෙනවා. අවම වශයෙන් ඔවුන්ට රුසියාවේ වඩා හොඳ ජීවිතයක් ලැබෙයි. ඔවුන්ට රුසියාවට ගොස් පුරවැසිභාවය ලබා ගන්න පුළුවන් ”

වත්මන් ආර්ථික තත්වය හමුවේ පීඩාවට පත්ව සිටින විශ්‍රාමික ශ්‍රී ලාංකික සෙබළෙක් අල් ජසීරා වෙත මෙසේ සඳහන් කර තිබුණා.

එමෙන්ම ශ්‍රී ලංකා හමුදා සේවයේ නියුතු තවත් සොල්දාදුවෙක් අල්ජසීරා වෙත පවසා තිබුණේ රුසියානු හමුදාවට බැඳීමෙන් තම ජීවිතය අහිමි වුවත් ඒ පිළිබඳව කනස්සල්ලට පත් නොවන අතර රුසියානු හමුදාව සඳහා බැඳීමට අවස්ථාවක් ලැබුණොත් එය භාර ගැනීමට සූදානම් බවයි.

RECENT ARTICLES - SINHALA

මෙරට ශ්‍රම බලකාය ගැන අනාවරණයක්

පසුගිය වසරේ දී මෙරට ශ්‍රම බළකාය පහත ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත්කළ නවතම වාර්තාවකින් පෙන්නුම් කර තිබෙනවා. ඒ අනුව 2022 වසරේ දී...

ගුරු අධ්‍යාපනඥ සේවා නිලධාරීන් අද වර්ජනයක

වැටුප් විෂමතා ගැටලුවට විසඳුම් ඉල්ලා වෘත්තීය සමිති ක්‍රියාර්ගයකට එළැඹීමට තීරණය කළ බව සමස්ත ලංකා ගුරු අධ්‍යාපනඥ සේවා නිලධාරීන්ගේ සංගමය පවසනවා.  එහි ලේකම් ධම්මික මිරිහාන මහතා...

හත්දහසකට හිමිවු පොදු සමාව

නිවාඩු ලබා නොගෙන සේවයට වාර්තා නොකර සිටින යුද හමුදා සාමාජිකයින් 7,000කට අධික පිරිසක් පොදු සමා කාලයේ පළමු සතිය තුළ ඉවත් කර තිබෙනවා. අප්‍රේල් මස 20...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...

රනිල් අවුරුදු කුමාරියන්ට තෑගි දෙන්න ගිහිල්ලා

මැද කොළඹ - සුදුවැල්ල බක්මහ උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වී තිබෙනවා. මෙම වාර්ෂික බක්මහ උළෙල සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත්...