33 C
Colombo
Saturday, May 4, 2024

කුෂිනගර් නව ගුවන්තොටුපළ මතින් ශක්තිමත්වන ඉන්දු – ශ්‍රී ලංකා සංස්කෘතික බැඳීම

- Advertisement -

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඇති ද්විපාර්ශ්වීය සබඳතාවන්හි නව පිටුවක් පෙරළමින් එරට 29 වන ජාත්‍යන්තර ගුවන්තොටුපළ ලෙස විවෘත කෙරුණු කුෂිනගර් වෙත ශ්‍රී ලන්කන් යානයක් ගොඩ බස්වනු ලැබුවේ පසුගිය ඔක්තෝබර් 20වනදායි. එම යානය කුෂිනගර් ධාවන පථ සිප ගත්තේය රටේ සිව්කොන නියෝජනය වන පරිදි ආරාධනා ලැබූ සිවු නිකායික මහා සංඝරත්නය සියක් නමක් ද සමඟින්. ගෞතම බුදු රජාණන් වහන්සේ වහන්සේගේ මහා පරිනිර්වාණය සිදුවූ කුසිනාරා නුවර හෙවත් කුෂිනගර් හි ජාත්‍යන්තර ගුවන්තොටුපළක් ඉදිකිරීම බෞද්ධ සිද්ධස්ථාන හා උරුමය සංරක්ෂණය හා ආරක්ෂා කර ගැනීමට සහ එහි තිරසර පැවැත්ම සහතික කිරීමට මෝදි රජය ගන්නා වෑයම සංකේතවත් කිරීමක්.

පසුගිය වසරේ අගෝස්තු මාසයේ පැවති අතත්‍ය (virtual) හමුවකදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගෙන් ඉල්ලා සිටියේ කුෂිනගර් ජාත්‍යන්තර ගුවන්තොටුපළ විවෘත කරමින් පළමු ජාත්‍යන්තර ගුවන් ගමන ශ්‍රීලංකන් යානයක් විසින් සිදුකරන ලෙසයි. ඒ අනුව UL 1147 ඔක්තෝබර් 20වනදා කුෂිනගර් බලා පිටත්ව ගියා. එම අවස්ථාවට එක් වූ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ පැවසුවේ,
බුදුන් වහන්සේගේ පරිනිර්වාණය සිදුවූ කුසිනාරාව මේ හරහා බෞද්ධ සංචාරක ගමන්මගේ කේන්ද්‍රස්ථානයක් බවට පත්වන බවයි. මෙමගින් දෙරටේ ජනතාව අතර බුදුදහම පාදක කරගත් තවත් බැඳීමක් ඇතිවන බවද මහ කොමසාරිස්වරයා සඳහන් කළා.

ගුවන් තොටුපළ විවෘත කිරීමේ උත්සවය අමතමින් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පැවසුවේ බෞද්ධ සිද්ධස්ථානයන් එකිනෙක හා සම්බන්ධ කිරීමේ වැඩපිළිවෙළට විශේෂ අවධානයක් යොමුකරන බවයි. නව ගුවන්තොටුපල ලොව පුරා බෞද්ධයින්ට පහසුකම් සලසනු ඇති බවද අග්‍රාමාත්‍ය මෝදි වැඩිදුරටත් පැවසුවා.

කුෂිනගර් නව ජාත්‍යන්තර ගුවන්තොටුපළ බෞද්ධ සංචාරක ක්ෂේත්‍රයේ සුවිශාල උන්නතියකට හේතුවනු ඇති. කුෂිනගර් සිට නුදුරින් ඇති නේපාල දේශ සීමාව පසු කළ විගස බෝධිසත්ත්වයන් වහන්සේ උපත ලැබූ ලුම්බිණිය පිහිටා තිබෙනවා එමෙන්ම කුෂිනගර් සිට තවත් බෞද්ධ වන්දනා ස්ථාන වන බුද්ධගයාව, නාලන්දා, සාරානාත් සහ වරානාසි වෙතද පහසුවෙන් ළඟා වීමේ හැකියාව පවතිනවා.

වප් පුර පසළොස්වක පෝය දිනයේ දී කුෂිනගර් වෙත පැමිණි පළමු ගුවන් යානයෙන් එරටට ළඟා වූ අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඉන්දු – ශ්‍රී ලංකා ඓතිහාසික සබඳතාව සිහි ගැන්වෙන සිතුවම් දෙකක් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට තෑගි කළේ ගුවන්තොටුපළ පරිශ්‍රයේ ප්‍රදර්ශනය කිරීම සඳහායි.

මෙරට ප්‍රවීණ චිත්‍ර ශිල්පියෙක් වන සෝලියස් මෙන්දිස් විසින් කැලණි රජ මහා විහාරයේ අඳින ලද බිතු සිතුවම් දෙකක පිටපත් දෙකක් මෙලෙස තෑගි කෙරුණා. එක් සිතුවමක් අරහත් මිහිඳු මාහිමියන් වහන්සේ දේවානම්පියතිස්ස රජුට ධර්මය දේශනා කරන අවස්ථාවක් වන අතර අනෙක් සිතුවම සංඝමිත්තා තෙරණිය ශ්‍රී මහා බෝධියේ දක්ෂිණ ශාඛාව මෙරටට වැඩම කරවීමේ අවස්ථාවයි. ක්‍රිස්තු පූර්ව තුන්වැනි සියවසේ සිදු වූ මෙම ඓතිහාසික සිද්ධීන් ද්විත්වය ශ්‍රී ලංකාවේ බෞද්ධ ශිෂ්ටාචාරයේ ආරම්භය සනිටුහන් කරන අතර දෙරට අතර පවතින අවියෝජනීය හා පරිච්ඡින්න කළ නොහැකි ශිෂ්ටාචාර බැඳීම සංකේතවත් කරනවා.

C. L. Carlleyle විසින් 1876 දී සිදුකරන ලද පුරාවිද්‍යා කැණීම්වලදී කුෂිනගර් ඓතිහාසික ස්තූපය සහ මීටර් 6.1ක් දිග සැතපෙන බුදු පිළිමය සොයා සොයාගනු ලැබුවා. ඉන් අනතුරුව එහි පුරාවිද්‍යාත්මක සහ ආගමික වැදගත්කම ආරක්ෂා කරමින් ස්තූපය ප්‍රතිසංස්කරණය කෙරුණා. පසුකාලීනව ශ්‍රී ලංකාව බුරුමය තායිලන්තය හා ජපානය විසින් ඉදිකළ බෞද්ධ විහාරස්ථාන රැසක් ද කුෂිනගර්හි මේ වන විට දැකගන්නට ලැබෙනවා. නව ගුවන් තොටුපළ හේතුවෙන් මෙම පූජනීය ස්ථාන වන්දනා කිරීමට පැමිණෙන බැතිමතුන්ට සහ එහි පැමිණෙන සංචාරකයින්ට මහත් පහසුවක් අත්කර දෙනු ඇති.

ඉන්දීය සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසන්නේ කුෂිනගර් ජාත්‍යන්තර ගුවන්තොටුපළ සංවර්ධනය සඳහා ඔවුන් කළ ආයෝජනය ඉන්දීය රුපියල් බිලියන 2.55ක් බවයි. ලබන මස මුල වන විට ශ්‍රී ලංකාව සහ වෙනත් රටවල සිට දෛනිකව ජාත්‍යන්තර ගුවන් ගමන් ආරම්භ වනු ඇති බවත් එමෙන්ම දේශීය ගුවන් සේවාවන් ද කුෂිනගර් වෙත පියාසර කිරීමට නියමිත බව ද ඉන්දීය සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසනවා.

ඉතිහාසයේ, සංස්කෘතීන්ගේ, දර්ශනයන්ගේ සහ ආගම්වල ලොව ශ්‍රේෂ්ඨතම තෝතැන්නක් ලෙස ඉන්දියාව ප්‍රවර්ධනය කරමින් සංචාරකයින් හා වන්දනාකරුවන්ට ආකර්ශනීය අත්දැකීමක් ලබාදීම සඳහා ඓතිහාසික බෞද්ධ සිද්ධස්ථාන ජාලයක් ඉන්දියාව විසින් හඳුන්වා දෙනු ලැබ තිබෙනවා. ඒ අනුව මෙම සංකේතාත්මක ජාලයට සිද්ධාර්ථ කුමරු උපත ලැබූ ලුම්බිණිය, බුද්ධත්වය ලැබූ බිහාර්හි බුද්ධගයාව, පළමු ධර්ම දේශනාව පැවැත් වූ සාරානාත් සහ මහා පරිනිර්වාණය සිදු වූ උත්තර ප්‍රදේශ්හි කුෂිනගර් අයත් වනවා.

මේ සියලු ස්ථාන බුදුන් වහන්සේ වැඩ සිටි වසර දෙදහස් පන්සීයකට වඩා පැරණි ලොව පුරා මිලියන 450ක් පමණ වන බෞද්ධයන්ට අතිශය වැදගත් හා ගෞරවාදරයට මෙන්ම පූජනීයත්වයට පත්වූ ස්ථානයි. එමෙන්ම බෞද්ධ දර්ශනය සහ බුද්ධාගම හා සංස්කෘතිය පිළිබඳ හැදෑරීමක් කරන ඒ පිළිබඳ උනන්දුවක් දක්වන සෙසු සංචාරකයින් සඳහා ද මෙම වන්දනා ස්ථාන වැදගත් වනවා.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඇති බුදු දහම පදනම් කර ගත් සබඳතා ප්‍රවර්ධනය සඳහා ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ඇමරිකානු ඩොලර් මිලියන 15ක් ද පසුගියදා වෙන් කළා. කුෂිනගර් ජාත්‍යන්තර ගුවන්තොටුපළ කිරීමේ උත්සවයේදී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා කළ කතාව තුළ වූයේ ද ඉන්දියාව තවදුරටත් බෞද්ධ හර පද්ධතීන් තුළින් ලබාගන්නා ආභාෂය පිළිබද මනා විවරණයක්.

“බුදුන් වහන්සේගේ සංකේතය වන ධර්ම චක්‍රය භාරත ජාතික ධජයේ වැජඹෙමින් අපට ශක්තියක් ලබාදෙනවා. භාරතීය ව්‍යවස්ථාව බලන කෙනෙකුට නිරන්තරයෙන් ඇස ගැටෙන පාඨයක් තමයි “ ධර්මචක්‍ර ප්‍රවර්ධනාය“. මිතුරනි, බුදුන් වහන්සේගේ ධර්මය උත්තර භාරතය ආලෝකවත් කළ බවයි කියැවෙන්නේ. නමුත් ඉතිහාසය දෙස හොඳින් බලන කෙනෙකුට පෙනෙනවා බුදුන් වහන්සේගේ ධර්මයෙන් උත්තර භාරතය පමණක් නෙවෙයි දකුණත්, නැගෙනහිරත් අලෝකවත් වුණු බව. බුදු දහමේ සඳහන් වන වටිනා මූලික අදහසක් තමයි “ අප්පමාදෝ අමතපදං – පමාදෝ මච්චු‍නෝ පදං – අප්පමත්ථා නමීයන්තී – යේ පමත්තා යථාමථා“. අප්‍රමාද වූවෝ නොමැරුණු අය සේය. පමා වූවෝ මියගිය අය සේය. ඒ අනුව අද භාරතය බුදුන් වහන්සේගේ ඒ ධර්මයට අනුව ඉදිරියට යනවා. අපි මුළු ලෝකයක් සමඟිනුයි ඉදිරියට ගමන් කරන්නේ. බුදුන් වහන්සේ දේශනා කරනවා තමන්ට අලෝකයක් වන්නේ තමන්මයි කියන එක. මම සම්පුර්ණයෙන් විශ්වාස කරනවා බුදුන්ගේ මේ දේශනාව අනුව අපි හැමෝම එකතුවෙලා මානව සංහතියේ දියුණුවට වැඩ කළ යුතුයි කියලා.”

RECENT ARTICLES - SINHALA

ලොහාන් රත්වත්තේ රනිල් ළඟට

නැවත රට භාරගැනීම සඳහා තමා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය ලබා දෙන බව රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා පවසනවා. අද (04) පොළොන්නරුව දිස්ත්‍රික්කයේ බී, සි,...

වාද්දුවේ පොලිස් වෙඩිතැබීමේ තවත් තොරතුරු එළියට

වාද්දුව, මොල්ලිගොඩ ප්‍රදේශයේ හෝටලයක් අසල අද (04) දහවල් වෙඩි තැබීමක් සිදු කර තිබුණා. මෙම වෙඩි තැබීම පොලීසිය විසින් සිදු කරන ලද්දක් බවට මේ වන විට...

රනිල් – බැසිල් හමුවක් අද

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා අතර හමුවක් අද (04) සිදුවීමට නියමිතව තිබෙනවා. එම හමුව අද පස්වරු 4.30ට...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...