30.1 C
Colombo
Friday, April 26, 2024

මහජන බැංකුවට බිලියන 54ක ණය පොල්ලක්

- Advertisement -

මහජන බැංකුව  පෞද්ගලික අංශයේ විවිධ සමාගම්  රැසකට  දුන් රුපියල්   කෝටි 5400 කට  ආසන්න ණය මුදලක් ගෙවීම පැහැර හැර  ඇතැයි පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝප් කමිටුව) තොරතුරු අනාවරණය විය.

මෙම ණය ලබාගෙන  ඇති ආයතන, ණය ලබාදීම සඳහා  ඇගයීම් කළ ආකාරය සහ  අනුමැතිය ලබාදීම සදහා සම්බන්ධ වූ පුද්ගලයන් ඇතුළු කරුණු පිළිබඳ සවිස්තරාත්මක වාර්තාවක් මසක් ඇතුළත ලබා දෙන  ලෙස  කෝප් කමිටු සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ මහතාට ඊයේ (04) නිර්දේශ කළේය.

එසේම මෙම තොරතුරු ඉදිරි කෝප් වාර්තාවේ ප්‍රකාශයට පත්කරන  බවද කෝප් සභාපතිවරයා  ප්‍රකාශ කළේය.

කෝප් සභාපතිවරයා මෙම නිර්දේශ  ලබා දුන්නේ මහජන බැංකුවට අදාළව නිකුත් කර ඇති  2018, 2019 මූල්‍ය වර්ෂවල විගණකාධිපති වාර්තා හා වර්තමාන කාර්ය සාධනය  පරීක්ෂා කිරීම සදහා  එම  බැංකුවේ ප්‍රධානීන්  පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාවට (කෝප් කමිටුව) ඊයේ  (04) කැඳවූ අවස්ථාවේදීය.

මෙම සාකච්ඡාව පාර්ලිමේන්තු සංකීර්ණයේදී  පැවැත්විණ

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්හට ඇතැම් අවස්ථාවලදී බැංකු ණයක් ලබා ගැනීමට විශාල පරිශ්‍රමයක් දැරීමට සිදුවන පසුබිමක,  ගෙවීමට ශක්‍යතාවක් නොමැති සමාගම්වලට  ප්‍රමාණවත් පරිදි දේපළ ඇපයට තබා ගැනීමකින් තොරව   රුපියල්  බිලියන 2, 3, 4 බැගින්  විශාල ණය ලබාදී ඇති බව නිරීක්ෂණය වන බැවින් මේවාට අනුමැතිය කුමන ආකාරයකින් ලැබුණිද යන වග හෙළි කළ යුතු බව කමිටුවේ මන්ත්‍රීවරු මෙහිදී අවධාරණය කළහ.

එසේම ඉදිරියේදී ණය ලබා දෙන විට  වඩාත් විධිමත්  ක්‍රමවේදයක් ඔස්සේ එය සිදුවිය යුතු බවත් ජාතික ධනය සම්බන්ධයෙන් වඩාත් වගකීමෙන් යුතුව කටයුතු කළ යුතු බවත් ඔවුහු ප්‍රකාශ කළහ.

මහජන බැංකුවේ හිටපු සාමාන්‍යාධිකාරීවරයකු භාවිත කළ වාහනය  2019 වසරේදී විශ්‍රාම ගන්නාවිට  ඉතා අඩු වටිනාකමකට පවරාදීම පිළිබඳවද  මෙහිදී කමිටුවේ අවධානය යොමු විය.

රුපියල්  එක්කෝටි හැට ලක්ෂයකට   මිලදී ගෙන ඇති මෙම මර්සීඩීස් බෙන්ස් වර්ගයේ මෝටර් රථය 2019 වසරේදී  රුපියල්  113,698 ක මුදලකට හිටපු සාමාන්‍යාධිකාරීවරයාට පවරා ඇති බවද මෙහිදී තොරතුරු අනාවරණය විය.

බැංකුවේ සාමාන්‍යාධිකාරිවරයා වසරකට වඩා කාලයක් භාවිත කළ වාහනය මෙලෙස පවරා දීම සාමාන්‍යයෙන් සිදුවන බවත් භාවිතා කළ කාලය අනුව ක්ෂය වීම සළකා වෙළෙඳ පොළ  වටිනාකම අනුව මෙම මිල තීරණය කර  ඇති බවත් බැංකුවේ වත්මන් සාමාන්‍යාධිකාරී රංජිත් කොඩිතුවක්කු මහතා  පැවසුවේය.

මෙහිදී කමිටුව විමසා සිටියේ රු. මිලියන 16 කට ආසන්න මුදලකට මිලදී ගත් වාහනය රු. එක් ලක්ෂ දහතුන් දහසකට ආසන්න මුදලකට පවරාදීම සිදුවූයේ කෙසේද යන්නයි.

බැංකුවේ වාහන පවරා දීමේ මෙම ප්‍රතිපත්තිය වෙනස් කර  ඇති බවත් සාමාන්‍යාධිකාරි හෝ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ධුරයේ වසර 25 කට වැඩි සේවා කාලයක් ඇති අය සදහා පමණක් මෙම අවස්ථාව ලබාදීමට තීරණය කර ඇති බවත් සාමාන්‍යාධිකාරීවරයා මෙහිදී පැවසුවේය.

මෙලෙස ජාතික ධනය වැය කිරීම පිළිබද නැවත සිතා බැලිය යුතු බවත් අධ්‍යක්ෂ මණ්ඩල අවසරයකින් පමණක් දැනට සිදුකරන මෙම ක්‍රියාවලිය විශේෂ අවසරයක් යටතේ පමණක් සිදුකළ යුතු බවත් පෙන්වා දුන් කෝප් කමිටු සභාපතිවරයා මෙම තත්වය සදහා වහා මැදිහත්වන ලෙස මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතාට නිර්දේශ කළේය.

ඒඅනුව ලේකම්වරයා යටතේ ඇති බැංකු පද්ධතිය සදහා අධ්‍යක්ෂ මණ්ඩල අවසරයකින් පමණක් සිදුකරන මෙවැනි ක්‍රියා සම්බන්ධව මාර්ගෝපදේශයන් සකස්කරන ලෙසත් අවශ්‍ය ක්‍රියාමාර්ග ඉදිරියේදී ගන්නා ලෙසත් නිර්දේශ කළේය.

මේ අතර දත්ත ගබඩා කිරීම සදහා 2015 වසරේ හදුන්වා දුන් ව්‍යාපෘතියකට (Data Ware House) රු. මිලියන 402 කට ආසන්න මුදලක් වැයකළද එය  අපේක්ෂා කළ පරිදි භාවිතා කළ නොහැකිව ඇති බවත් මෙහිදී අනාවරණය විය.

මෙම ව්‍යාපෘතිය හදුන්වා දුන් එවකට මහජන බැංකුවේ සභාපතිවරයා විසින් පත් කෙරුණු    තොරතුරු තාක්ෂණ අංශයේ ප්‍රධානියා  ව්‍යාපෘතිය සිදු කළ සමාගමේ ඊට පෙර සේවය කළ අයකු බවද මෙහිදී සාකච්ඡා විය.

මේ සම්බන්ධයෙන් කිසිදු ශක්‍යතා අධ්‍යයනයක්ද සිදු කර නැති  බව අනාවරණය වූ අතර කිසිදු ප්‍රතිළුලයක් නොමැති ව්‍යාපෘතියක් සදහා රුපියල් කෝටි 40 ක ට වැඩි  මුදලක් වැය කිරීම බරපතල තත්වයක් බැවින් අමාත්‍යාංශ මට්ටමින් විධිමත් පරීක්ෂණයක් සිදු කරන ලෙසට මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාට  උපදෙස් ලබා දුන්නේය.

මේ සම්බන්ධයෙන්   විශේෂ විගණනයක් කර වාර්තාවක් ලබා දෙන ලෙස කෝප් කමිටු සභාපතිවරයා විගණාකාධිපති ඩබ්.පී.සී වික්‍රමරත්න මහතාට  නිර්දේශ කළේය.

අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයෙකුට අයත් සමාගමක් සහ එහි පරිපාලිත සමාගම් සදහා ණය ලබාදී එම ණය අක්‍රීය ණය කාණ්ඩයට මාරු කිරීමක්  පිළිබදවද මෙහිදී අනාවරණය විය.

මේ සාකච්ඡාවට අමාත්‍ය නාලක ගොඩහේවා, රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහින්ද අමරවීර, ජගත් පුෂ්පකුමාර, රෝහිත අබේගුණවර්ධන, පාඨලී චම්පික රණවක, ආචාර්ය හර්ෂ ද සිල්වා, ආචාර්ය සරත් වීරසේකර, ඉරාන් වික්‍රමරත්න, ජයන්ත සමරවීර, එස්.එම් මරික්කාර්, එස්. රාසමානික්කම්, මධුර විතානගේ සහ ප්‍රේම්නාත් සී දොලවත්ත යන මහත්වරුන්  මහජන බැංකුවේ නිලධාරීන් ඇතුළු පිරිසක්ද සහභාගී වූහ

RECENT ARTICLES - SINHALA

කොළඹට හෙට පැය 14ක ජල කප්පාදුවක්

හෙට (27) පස්වරු 05 සිට පැය 14ක කාලයක් කොළඹ, දෙහිවල - ගල්කිස්ස හා මොරටුව ඇතුළු ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන...

විරෝධතාවයක් වළක්වන්නැයි පොලීසිය කළ ඉල්ලීමක් අධිකරණය ප්‍රතික්ෂේප කරයි

කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය රජයට විරෝධය පළ කරමින් සංවිධානය කළ විරෝධතා රැළියක් වළක්වන ලෙස කුරුඳුවත්ත පොලිසිය කළ ඉල්ලීමක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්...

බලශක්තියට නව නියාමන ආයතනයක්

බලශක්ති අංශය සඳහා නව නියාමන ආයතනයක් හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. පෙට්‍රල්, ඩීසල්, භූමිතෙල්, ගුවන් යානා ඉන්ධන තෙල්, ද්‍රවීකෘත පෙට්‍රෝලියම් වායු, සහ ලිහිසි...

POPULAR ARTICLES

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...