32 C
Colombo
Thursday, December 1, 2022

සංචාරකයන්ගෙන් කෝටි 42ක් ආවාලු! ඒ කොහොමද?

- Advertisement -

ලංකාවට පැමිණි යුක්‍රේන සංචාරකයන් 1500 දෙනාගෙන් රුපියල් කෝටි 42ක් ලැබුණා කියලා ඉරිදා අරුණ පත්තරය ප්‍රධාන ප්‍රවෘත්තියක් වාර්තා කර තිබුණා. ඒ ගාණ ඇහුවාම, ඕනෑ කෙනෙකුගේ කටවල් විවර වෙන බව සැබෑවක්. ඒ තරම් ආදායමක් ගෙනාවානම්, සංචාරකයන් ආවත් කමක් නෑ කියලා හිතෙන්න ඇති. හෙඩිම දැක්කාම අපටත් හිතෙනවානේ එහෙම.

එහෙත්, මේක ලංකාවේ ප්‍රවෘත්ති වාර්තා කරන විදිය ගැන හොඳ උදාහරණයක්. මේ කෝටි 42 ගණන් හැදුවේ කවුද, මොන ආයතනයද, අපි ඒ ගාණ විශ්වාස කරන්නේ කොහොමද. අපි ඒක විශ්වාස කරන්නේ ඇයි.

ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන මණ්ඩලය ඒ සංචාරකයන් වියදම් කරපු විදිය ගැන වාර්තාවක් හැදුවාද. සංචාරක අමාත්‍යාංශයෙන් ගණන් හැදුවාද.

නැහැ, ඒ වෙනුවට ඒ ප්‍රවෘත්තිය කියෙව්වාමයි තේරෙන්නේ මේ ආපු ආදායම උදයංග වීරතුංග තමන්ගේ කටෙන් කියපු එකක්. උදයංග වීරතුංගගෙන් මේ වගේ වෙලාවක ‘සංචාරකයන්ගෙන් ලංකාවට ආපු ආදායම කොච්චරද’ කියා ඇහුවොත් අනිවාර්යයෙන්ම ඔහු කියන්නේ ලොකු ආදායමක් ආ බව තමයි. ඇත්තටම අරුණ පත්තරය කරලා තියෙන්නේ හොරාගේ අම්මාගෙන් පේන ඇසීමක්.

අපි යම් ප්‍රවෘත්තියක් කියවද්දී විමසිල්ලෙන් බලන්න ඕනෑ ඒ කතාව කවුද කියලා තියෙන්නේ. ඒ කතාව පිළිගන්න පුළුවන් ආකාරයට ‘හොයාගත්ත’ කරුණක්ද. යම් දත්තයක් නම්, ඒ දත්තය අරන් තියෙන්නේ මොන ආයතනයෙන්ද. ඒ ආයතනය දත්ත එකතු කරලා තියෙන්නේ මොන ක්‍රමවේදයෙන්ද.

අර මුස්ලිම් දොස්තර කෙනෙක් සිංහල අම්මලා අටදාහක් වඳ කළා කියලා ගහපු ප්‍රධාන ප්‍රවෘත්තිය වගේ තමයි. අදටත් එක අම්ම කෙනෙක් වඳ කළා කියලවත් ඔප්පු කරලා නෑ. ඒ වෛද්‍යවරයාගෙන් සැත්කම් කරපු අම්මලා සැලකිය යුතු ප්‍රමාණයක් දැන් දරුවන් බිහිකරලා හෝ දරුවන් බිහි කරන්න ඉන්නවා.

ඒක අනුව ඒ සංචාරයන් 1500 දෙනා කරපු වියදම රුපියල් කෝටි 42ක් නම්, අඩු තරමේ එක්කෙනෙක් රුපියල් දෙලක්ෂ අසූදාහක් වියදම් කරලා තියෙනවා. අපි ඊළඟට බලන්න ඕනෑ ඔය සල්ලි ගියේ කාටද කියලා. ඒ කියන්නෙ වියදම් කළේ කොහොමද කියලා.

උදයංග වීරතුංග කියලා තියෙන්නේ වියදම් වර්ග දෙකක් විතරයි. එකක් තමයි හෝටල් කාමරවලට දවසකට ඩොලර් 125-150 අතර වියදම් කළා කියලා. අනෙක එයාලා පිටට ගිහින් සංචාරය කරනකොටත්, භාණ්ඩ මිලදී ගන්නකොටත් අඩු තරමේ ඩොලර් 100ක් වියදම් කළා කියලා. ඒ වියදම දිනක වියදමද, නැත්තං ලංකාවෙන් ඇවිත් යනතුරු කරපු වියදමද කියා පැහැදිලි නෑ.

ඩොලර් 150ක් කියන්නේ රුපියල් 29,000ක් විතර. දවස් දහයක් හිටියොත් 290,000ක්. ඩොලර් සීයක් කියන්නේ රුපියල් 19,000ක් විතර.  අඩු වැඩි වශයෙන් ඔය වගේ ගණන් වියදම් කරලා කෝටි 42ක් වියදම් වුණ කියලයි උදයංග කියන්නේ.

අපි උදයංග වීරංතුංග කටින් කියපු කතා ටික විශ්වාස කරලා ආදායම ආවේ කාටද කියා බැලුවොත්, වැඩි කොටසක් ඇවිත් තියෙන්නේ දවසකට විසිනවදාහක් විතර අයකරන ලොකු හෝටල්වල හිමිකරුවන්ට.

යුක්‍රේන සංචාරකයන් ගෙන්වීම අසාර්ථක ව්‍යාපෘතියක් බව ආණ්ඩුවේම අය කියනවා. දැන් ආණ්ඩුවේ ලොක්කන් වුණත් නිදහසට කියන්නේ, ඒ ව්‍යාපෘතිය අසාර්ථක වුණත් ඒකෙන් පාඩම් ඉගෙනගෙන ඉස්සරහට සංචාරකයන් ගෙන්වනවා කියලයි.

නිරෝධායනයට යවන්න වුණ අය වෙනුවෙන් කළ වියදම කොච්චර වෙන්න ඇතිද. ආණ්ඩුවේම අය කියපු විදියට සංචාරක බුබුල ඇතුළේ ඉන්න අයගේ පවුල්වලට භාණ්ඩ පවා යැව්වා. පවුල් 1000කට, රුපියල් 5000 බඩු මල්ල ගාණේ යැව්වා කියලා හිතමු. 5,000,000ක් විතර ඒකට විතරක් යනවා. කට්ටිය නිරෝධායනයට දාන්න ගිය වියදම කොච්චරද. ඒ වගේම මේ අයගෙන් කොවිඩ් රට ඇතුළට එන්නට තිබුණ අවදානම.

ඒ ඔක්කොම වියදම් මහජන බදු මුදලින් රටේ පොඩි මිනිස්සුන්ට දරන්න වෙනවා. ඒත් අර හෝටල් හිමියන්ට එක්කෙනාගෙන් දවසට රුපියල් විසිනවදාහ ගාණේ එනවා.

දැන් කවුරුහරි කියන්න පුළුවන්, මෝඩයෝ උඹට ආර්ථිකය තේරෙන්නේ නෑ කියලා. මේ වෙලාවේ අපට තියෙන්නේ විදේශ විනිමය ප්‍රශ්නයක්. අපනයන අඩු වීමයි, සංචාරක කර්මාන්තය අඩු වීමයි, විදේශ ශ්‍රමිකයන් නැති වීමයි නිසා දැන් ලංකාවට ඩොලර් එන්නේ නෑ. ඒ නිසා සංචාරකයන්ගෙන් ලංකාව ඇතුළට එන සල්ලි හෝටල් හිමියන්ට ගියත් එකයි, කාට ගියත් එකයි ඒවා විදේශ විනිමය විදියට අපේ ආර්ථිකයට එකතු වෙනවා කියලා.

හෝටල් හිමියන් ඒකෙන් ලැබෙන ලාභය අරන් කොහෙහරි රටක ෆොරින් ටුවර් එකක් ගිහින්, නැත්නම් වාහනයක් හරි මොකක්හරි ඉම්පෝට් කරලා ඒ ඩොලර් ටික ආයෙත් පිටරටට යැව්වෙ නැත්තං….. ඒ කතාවේ අර්ධ ඇත්තක් තියෙනවා.

ඒත්, අපේ විදේශ විනිමය ප්‍රශ්නය මාසයක් ඇතුළෙ සංචාරකයන් 1500ක් ගෙන්නලා කෝටි 42ක් හොයලා විසඳන්න බෑ. මේ සංචාරකයන් ගෙනාවේ කෝටි 42ක් නම්, ආපු ආදායම ඩොලර් මිලියන 2.16ක් විතර. ඒ කියන්නේ අවුරුද්දක් තිස්සේ අපි මාසෙට 1500ක සංචාරක බුබුල ගාණේ හැදුවත් එන්නේ ඩොලර් මිලියන 25.92ක්. ඒ ගාණ වැඩි කරන්න පුළුවන්, ඒත් වැඩි කරන තරමට අපේ රටේ කොවිඩ් අවදානම වැඩි වෙනවා.

අපේ රටේ විදේශ විනිමය ප්‍රශ්නය ඊට වඩා ගොඩාක් ලොකුයි. අවුරුද්දකට ඩොලර් බිලියන හය හතක විතර ප්‍රශ්නයක් තියෙනවා. බිලියනයක් කියන්නේ මිලියන දාහක්. බිලියන හතක් කියන්නේ මිලියන හත්දාහක්. ඉතින්, මාසෙට දැන් ඩොලර් මිලියන 2.14ක් ගෙනාවා කියලා උදයංග කියන කතාව ඇත්ත වුණත්, අපි එයා ඉස්සරහා වැඳවැටිලා ‘බොහොම පිං දෙයියනේ’ කියන්න ඕනෑද.

ඇත්තටම අපි හිතන විදියට මේ වෙලාවේ රටට තියෙන විසඳුම හැකි ඉක්මනට රටේ ජනතාව අතරින් සීයට 70කට එන්නත දීලා, කොවිඩ් අවදානම අඩු කරගෙන ඊට පස්සේ සංචාරකයන් ගේන එක. ඒ අතරේ රටට ඩොලර් එන වෙනත් අපනයන කර්මාන්ත හොඳට ශක්තිමත් කරලා, ගම්වල මිනිසුන්ට අලුත් අපනයන වැඩි කරන්න ප්‍රොජෙක්ට් දීලා ඩොලර් හොයන එක.

ඒ වගේම, සංචාරක  කර්මාන්තයට ලැබිලා තියෙන්නේ විවේක කාලයක්. අපේ සංචාරක කර්මාන්තයේ ඉන්න අයට භාෂාව, සංචාරකයන් එක්ක ගනුදෙනු කරන විදිය, සංචාරකයන්ට උපරිම සේවා සපයන විදිය උගන්වන්න මේ කාලය හොඳයි. මොකද, අපේ සංචාරක කර්මාන්තය අවිධිමත් ක්ෂේත්‍රයක්. සමහර මිනිසුන් ඉංග්‍රීසි ඉගෙනගන්නේත් හරි අවිධිමත් විදියට. සංචාරක කර්මාන්තයට රට විවෘත කරනතුරු කාලයේ සංචාරක අමාත්‍යාංශයට කරනවානම් ඕනෑ තරම් වැඩ තියෙනවා. තව මාස පහක් විතර ඇතුළත සීයට හැත්තෑවකට එන්නත ගැහුවානම් ඊට පස්සේ හිතේ හැටියට සංචාරකයන් ගේන්න පුළුවන්. රටේ මිනිසුන්ට අවදානමක් නැතිව.

එතකොට අවුරුද්දේ අවසාන කාලෙ වෙද්දී ඩොලර් මිලියන දෙකේ කෑලි නැතිව, සංචාරක කර්මාන්තය ඉස්සර ගෙනාපු දැවැන්ත ආදායම ආයෙමත් අපේ රටට ගේන්න පුළුවන්. 

RECENT ARTICLES - SINHALA

බාහිර උපාධි සඳහා ද බදු අය කළ යුතුයි – ජනපති

0
බාහිර උපාධිය සඳහා ද බදු අය කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේ...

අදායම් බදු වාර්තා ඉදිරිපත් කරන්න සහන කාලයක්

0
අදායම් බදු වාර්තා ගොනු කිරීම සඳහා සමාගම් වෙත සතියක සහන කාලයක් ලබාදෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසනවා.

ලංගම සේවකයන් ජනපතිගෙන් රුපියල් 40000ක බෝනස් ඉල්ලයි

0
ශ්‍රී ලංගම සේවකයන්ට ප්‍රසාද දීමනා ලෙස රු.20000 ක මුදලක් ද පාසල් උපකරණ මිලදී ගැනීම සඳහා රු. 20000 මුදලක් වශයෙන් රු. 40000 මුදලක්...

RECENT ARTICLES - ENGLISH

By increasing export taxes, industries should not be discouraged: COPF

0
Dr. Harsha de Silva, Chairman of the Committee of Public Finance instructed officials to the Ministry of Finance that an analytical report...

The new year begins with another massive electricity tariff hike

0
Cabinet has approved a hike in electricity tariffs under two steps in January and June 2023. Although the electricity...

Sari/Osari fiasco: Circular on state sector employees’ attire revoked

0
Circulars on the official attire of staff grade officers in the State sector have been revoked. According to the...