33 C
Colombo
Wednesday, May 1, 2024

යාපනය විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංගමයෙන් චීන තානාපතිට දෝස්මුරයක්

- Advertisement -

ශ්‍රී ලංකාවේ චීන තානාපති Qi Zhenhong වෙත ට්විටර් පණිවුඩයක් මගින් බැණ වැදුණු යාපනය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සංගමය, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල සැසියේදී ශ්‍රී ලංකාව ජාත්‍යන්තර අපරාධ අධිකරණයට (ICC) යොමු කරන ලෙස කළ ඉල්ලීමට සහාය දෙන ලෙස ඔහුගෙන් ඉල්ලා සිටිනවා.

ජිනීවාහි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ (UNHRC) සැසිවාරය සම්බන්ධයෙන් සහ ශ්‍රී ලංකා රජයට පක්ෂව තානාපතිවරයා විසින් කරන ලද ට්විටර් පණිවිඩයක් ශිෂ්‍ය සංගමය විසින් විවේචනය කර තිබුණා.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සැසිවාරය පිළිබඳව අදහස් දක්වමින් “චීනය සෑම විටම ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය, ස්වාධීනත්වය සහ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කිරීම සඳහා ජාත්‍යන්තර වේදිකාවල ශ්‍රී ලංකාවට සහාය දක්වයි. අපි ඒක දිගටම කරගෙන යනවා.”යැයි ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියා.
මේ අතර, සිකුරාදා චීන තානාපති කාර්යාලයේ වෙබ් අඩවියේ පසුව ප්‍රකාශයට පත් කරන ලද ශ්‍රී ලංකා ගාඩියන් වෙබ් අඩවියේ පළව තිබූ ලිපියක, තානාපතිවරයා කියා සිටියේ චීනය ජාත්‍යන්තර වේදිකාවලදී ශ්‍රී ලංකාවට “අඛණ්ඩව සහය දෙන” අතර “ දුරස්ථ හෝ ආසන්න” රටවලට “හිරිහැර කිරීම් සඳහා” දොස් පවරන බවයි.

“චීනය සෑම විටම ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය, ස්වාධීනත්වය සහ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කිරීම සඳහා ජාත්‍යන්තර වේදිකාවල දී ශ්‍රී ලංකාවට සහාය දක්වයි. අපි ඒක දිගටම කරගෙන යනවා. ඊට පටහැනිව, දුරස්ථ හෝ ආසන්න සමහර රටවල් සෑම විටම ශ්‍රී ලංකාවට හිරිහැර කිරීමට සහ ශ්‍රී ලංකාවේ ස්වෛරීත්වය සහ ස්වාධීනත්වය නැවත නැවතත් පාගා දැමීමට විවිධ පදනම් විරහිත නිදහසට කරුණු ඉදිරිපත් කරයි,” යනුවෙන් තානාපති Qi පවසනවා.

තානාපතිවරයාගේ මෙම ප්‍රකාශය වක්‍රකාරව ඉන්දියාව ඉලක්ක කර ඇති බව පැහැදිලි වන්නේ එක්සත් ජාතීන්ගේ මානව හිමකම් සමුළුවේදී ජිනීවා හි ඉන්දීය නිත්‍ය නියෝජිත ඉන්ද්‍රා මණි පාණ්ඩේ පල කළ අදහස් සැලකීමේදීයි.
ශ්‍රී ලංකාවේ දෙමළ සුළුතරය මුහුණදී ඇති ජනවාර්ගික ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් ලබානොදීම සම්බන්ධයෙන් ඉන්දියාව සිය කනස්සල්ල පළකරන බව ජිනීවාහි ඉන්දීය නිත්‍ය නියෝජිත ඉන්ද්‍රා මණි පාණ්ඩේ මහතා පැවසුවා.
“ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීම, පළාත් සභාවලට බලතල පැවරීම සහ පළාත් සභා මැතිවරණය කඩිනමින් කළ යුතුයි. ඉන්දියාවේ මතය අනුව ශ්‍රී ලංකාව තුළ සාමය සහ සංහිඳියාව ඇති කළ හැක්කේ දේශපාලන විසඳුමකින් පමණයි. එය එක්සත් ශ්‍රී ලංකාවක් තුළ සිදුකළ යුත්තේ, යුක්තිය, සාමය, සාමානාත්මතාව හා ශ්‍රී ලාංකේය දෙමළ ප්‍රජාව තුළ අභිමානයක් ඇති වන පරිද්දෙනි.” ඉන්දීය නිත්‍ය නියෝජිතයා වැඩිදුරටත් සඳහන් කළා.

යාපනය විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය සංගමය මෙරට චීන තානාපතිවරයාගේ ප්‍රකාශය දැඩි ලෙස විවේචනය කරන්නේ මෙවන් සංදර්භයකයි.
චීන තානාපතිවරයාගේ ප්‍රකාශය දැඩි ලෙස විවේචනය කළ ශිෂ්‍ය සංගමය කියා සිටියේ විපතට පත් දෙමළ ප්‍රජාව අපකීර්තියට පත් කර ඇති බැවින් ඔහුගේ ප්‍රකාශය ඉල්ලා අස්කර ගන්නා ලෙසයි.

“අපගේ එකම බලාපොරොත්තුව ශ්‍රී ලංකාව ජාත්‍යන්තර අපරාධ අධිකරණයට ඉදිරිපත් කර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී යුක්තිය පසිඳලීමයි. දෙමළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, දේශපාලන පක්ෂ, ආගමික නායකයන්, අතුරුදන් වූවන්ගේ පවුල්, සිවිල් සමාජය, වෘත්තීය සමිති සහ අපි සාමූහිකව ශ්‍රී ලංකාව ජාත්‍යන්තර අපරාධ අධිකරණයට යොමු කරන ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ලිපියක් යොමු කළා.” එම සංගමය වැඩිදුරටත් කියා සිටිනවා.
ශ්‍රී ලංකාව ජාත්‍යන්තර අපරාධ අධිකරණයට යොමු කරන ලෙස දෙමළ ජනතාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට බලකරමින් ලිපියක් යැවූ දිනයේම, චීන තානාපතිවරයා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකා රජයට සහාය පළ කරන බවට ප්‍රකාශයක් සිදු කළා.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී එක්සත් රාජධානිය, ඉන්දියාව, ඇමරිකාව, ජර්මනිය ඇතුළු රටවල් රැසක් දෙමළ ජනතාවට සහය පළ කරමින් එක්ව ක්‍රියා කරන බවට පවසා ඇති අවස්ථාවක චීන තානාපති කාර්යාලයේ මතය ශ්‍රී ලංකාවේ ආධිපත්‍යය ශක්තිමත් කිරීමට හේතුවක් වන බව යාපනය විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංගමයේ අදහසයි.

දෙමළ විරෝධී ආකල්පයක් ඇති චීනයේ උතුරු-නැගෙනහිර ආධිපත්‍යය වර්ධනය වීම අපි තරයේ හෙළා දකිමු. චීන තානාපතිවරයාගේ මෙම වගකීම් විරහිත ප්‍රකාශය පිළිබඳව දශක ගණනාවක් දුක් විඳි දෙමළ ජාතිකයන් වන අපි දැඩි ලෙස කණගාටු වන අතර එය තරයේ හෙළා දකිමු. මේ ක්‍රියාව “ගසකින් වැටුණු එකාට ගොනා අනිනවා වගේ”. එම සංගමය පැවසුවා.

“චීන තානාපතිවරයා දෙමළ ප්‍රදේශවලට ගොස් අවංක ආධාර ලබා දුන්නේය. ඔබ සාම්ප්‍රදායික දෙමළ ඇඳුමින් සැරසී නල්ලූර් මුරුගන් කෝවිලට පැමිණීම දෙමළ ජනතාව රැවටීමේ ක්‍රියාවක් බවට අපි සැක කරනවා. චීනය වගකිවයුතු රටක් ලෙස ක්‍රියා කරනු ඇතැයි අපි අපේක්ෂා කරන අතර බොර දියේ මසුන් ඇල්ලීමෙන් වළකින ලෙසත් අපගේ විපත්තියෙන් ප්‍රයෝජන නොගන්නා ලෙසත් අපි ඔබෙන් ඉල්ලා සිටිමු.” ශිෂ්‍ය සංගමය නිකුත් කළ නිවේදනයේ සඳහන්.
යාපනය විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගමය පැවසුවේ, “ශ්‍රී ලංකා රජය විසින් දියත් කරන ලද” යුද්ධයේදී දෙමළ ජනයා විඳි දුක් වේදනා පිළිබඳව චීනය හොඳින් දන්නා බවයි. එහි වැඩිදුරටත් සඳහන් වන්නේ “යුද්ධය අවසන් වූ පසුවත් ශ්‍රී ලංකා සොල්දාදුවන් ලක්ෂ සංඛ්‍යාවක් උතුරු නැගෙනහිර දෙමළ ප්‍රදේශවල අපේ මාතෘභූමිය අල්ලාගෙන සිටිනවා. යුද්ධයෙන් පසු අපේ පාරම්පරික නිජභූමියේ අපිව සුළුතරයක් කරන්න සිංහල බෞද්ධයන් පදිංචි කරන්න අපේ නිජබිම් රජය සතු කර ගත්තා” යැයි ශිෂ්‍ය සංගමය පවසනවා.

පසුගිය කාලයේ ශ්‍රී ලංකාව පාලනය කළ හෝ ආක්‍රමණය කළ ඇතැම් රටවල්වලට වඩා වෙනස්ව චීනය ශ්‍රී ලංකාවට සහාය දෙන බව පසුගියදා ශ්‍රී ලංකා මාධ්‍ය වෙත නිකුත් කළ ලිපියේ චීන නියෝජිතයා පෙන්වා දුන්නා.
මේ අතර කෘෂිකර්ම පීඨය සහ චීන කෘෂිකාර්මික ආයතනයක් අතර සහයෝගිතා ගිවිසුමක් අත්සන් කිරීම සඳහා යාපනය විශ්වවිද්‍යාලයේදී පැවැත්වීමට නියමිතව තිබූ උත්සවයක් දින නියමයක් නොමැතිව කල් දැමුණු අතර ඒ සඳහා වූ තානාපතිවරයාගේ යාපනය සංචාරය සිසුන්ගේ විරෝධය හේතුවෙන් අත්හිටුවා ඇති බවද වාර්තා වනවා.
ඊට ප්‍රතිචාර දක්වමින් චීන තානාපති කාර්යාල ප්‍රකාශක Luo Chong කියා සිටියේ තානාපතිවරයා සෑම විටම යාපනයේ නැවත සංචාරය කිරීම සඳහා උනන්දු වන බවයි. “උතුරු පළාත චීන-ශ්‍රී ලංකා මිත්‍රත්වයේ සහ සහයෝගීතාවයේ වැදගත් කොටසකි. සංචාරයේ නිශ්චිත වේලාව ගැන, මේ මොහොතේ මට තොරතුරු නැහැ, ”ඔහු පැවසීය.

පසුගිය කාලය තුල චීනය ශ්‍රී ලංකාවේ උතුරු අර්ධද්වීපයේ සහ නැගෙනහිර පළාතේ සිය ක්‍රියාකාරකම් වැඩි කළ අතර මෙරට චීන තානාපති Qi Zhenhong සිය ධුර කාලය තුල අවස්ථා කිහිපයකදීම එම ප්‍රදේශවල සංචාරයේදී නිරත වුණා.
චීනය දැනටමත් කිලිනොච්චියේ අපනයනය ඉලක්ක කරගත් ධීවර සංවර්ධන ව්‍යාපෘතියක් ආරම්භ කර තිබෙනවා.
කෙසේ වෙතත්, යාපනයට ඔබ්බෙන් පිහිටි දූපත් තුනක පුනර්ජනනීය බලශක්තිය භාවිතා කරමින් කුඩා ප්‍රමාණයේ විදුලි ව්‍යාපෘති තුනක් පිහිටුවීමට චීනය ගත් උත්සාහය අසාර්ථක වූයේ ආරක්ෂක ගැටලු මතු කරමින් ඉන්දියාවෙන් එල්ල වූ විරෝධය නිසාවෙනි.

RECENT ARTICLES - SINHALA

ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දරුණු අතුරු ආබාධ සැඟවි‍මෙන් මුලික මිනිස් අයිතිවාසිකම් කඩවෙලා

කොවිඩ් සමයේදී ලබාදුන් AstraZeneca එන්නතින් ඇතිවිය හැකියැයි කියන බරපතල අතුරු ආබාධ ගැන සඟවමින් ජනතාවට එන්නත් ලබා ගන්නා ලෙසට බලපෑම් කිරීම තුලින් මූලික අයිතිවාසිකම් කඩවී...

ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ අතුරු ආබාධ ගැන සමාගම පිළිඅරන්

එංගලන්තයට හා ස්වීඩනයට අයත් දැවැන්ත බෙහෙත් සමාගමක් වන 'ඇස්ට්‍රාසෙනෙකා’ සමාගම තමන් නිපදවූ කොරෝනා එන්නත හරහා දුර්ලභ අතුරු ආබාධ තත්ත්වයක් ඇති විය හැකි බවට පිළිගෙන...

තවත් පොහොට්ටු මන්ත්‍රී කෙනෙක් රනිල් ළඟට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මොණරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, හිටපු සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය ගයාෂාන් නවනන්දන මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සහය පළ කරන බවට...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

සජබේ වේදිකාවක් නිසා කොළඹ කොටුවේ දැඩි රථවාහන තදබදයක්

හෙට (01) දින යෙදී ඇති මැයි දිනයට සමගාමීව සමඟි ජන බලවේගය විසින් සංවිධානය කර ඇති උත්සවයක වේදිකාවක් තැනීම සඳහා කොළඹ චැතම් වීදියේ, ටෙලිකොම් ආයතනය...

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...