33 C
Colombo
Tuesday, April 30, 2024

ආර්ථික අර්බුදය විසඳා ගැනීමට චීනයේ සහය කතාවට සීමා වෙයිද?

- Advertisement -

චීන – ශ්‍රීලංකා සබඳතා පිළිබඳ දීර්ඝ ලිපියක් ‘Sri Lanka Guardian’ සඟරාවේ පසුගියදා පළ වී තිබුණා. ඒ, එක් චීනයක් ප්‍රතිපත්තියේ සිට යුවෑන් වැන්ග් 5 දක්වා – අත්වැල් බැඳගනිමු අපගේ ස්වෛරීභාවය, ස්වාධීනත්වය සහ භෞමික අඛණ්ඩතාව අධිෂ්ඨානශීලීව සුරකිමු.” යන මාතෘකාවෙන්.

චීනය ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය, ස්වාධීනත්වය සහ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කිරීම සඳහා ජාත්‍යන්තර වේදිකාවල දී ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහාය දක්වනු ඇතැයි ශ්‍රී ලංකාවේ චීන තානාපති Qi Zhenhong උපුටා දක්වමින් එම ලිපියේ සඳහන් වුණා. ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ (UNHRC) 51 වැනි සැසිවාරය ගැන සඳහන් කරමින් තානාපති Qi ප්‍රකාශ කළේ 1840 සිට 1949 දක්වා චීනය ශ්‍රී ලංකාව මෙන් ශතවර්ෂයක කාලයක් නින්දාවකට ලක් වූ බවයි.

“ඒ හා සමාන අඳුරු අත්දැකීමක් නිසා, චීනය සෑම විටම ස්වෛරීභාවය, ස්වාධීනත්වය සහ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කිරීම සඳහා ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර වේදිකාවල සහාය දක්වයි. අපි එය දිගටම කරගෙන යන්නෙමු. ඊට වෙනස්ව, සමහර දුර හෝ ආසන්න රටවල්, සෑම විටම ශ්‍රී ලංකාවට හිරිහැර කිරීමට විවිධ දේ කරනවා වගේම ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය සහ ස්වාධීනත්වය නැවත නැවතත් පාගා දැමීම සඳහා පදනම් විරහිත නිදහසට කරුණු ඉදිරිපත් කරනවා. ශ්‍රී ලාංකික ජනතාව තවමත් දැඩි ආර්ථික හා මානුෂීය දුෂ්කරතා සමඟ පොරබදමින් සිටින බැවින්, මානව හිමිකම් ගැන නිතරම දේශනා කරන එම රටවල් ඇත්ත වශයෙන්ම කුමක් කරනු ඇත්දැයි බොහෝ දෙනා කල්පනා කළ හැකිය. ස්ථිර සහයෝගයක් ලබා දීමෙන් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් අර්බුදය සමනය කිරීමට ඔවුන් උදව් කරයිද? එසේත් නැතිනම් ඔවුන් නැවතත් දිවයිනේ අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලි ගැසීමට සහ ශ්‍රී ලාංකික ජනතාවගේ තුවාලය පෑරීමට මානව හිමිකම් මෙවලමක් ලෙස යොදා ගනීවිදැයි අපි බලා සිටිමු.”

ආර්ථික හා මානුෂීය අර්බුද සමඟ ජනතාව පොරබදමින් සිටින නිසා රටේ මානව හිමිකම් අර්බුදය සමනය කිරීම සඳහා ශ්‍රී ලංකාවට ස්ථිර සහයෝගයක් ලබා දෙන ලෙස චීන තානාපතිවරයා මානව හිමිකම් ‘දේශනා කරන’ සහ ශ්‍රී ලංකාවට බලපෑම් කරන රටවලින් ඉල්ලා සිටිනවා.

ජිනීවා හි එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ චීනයේ නිත්‍ය නියෝජිත, චෙන් ෂු, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 51 වැනි සැසිවාරයේ දී ශ්‍රී ලංකාව පිළිබඳ අන්තර් ක්‍රියාකාරී සංවාදයේදී පල කළේද මීට සමාන අදහසක්.
විශේෂයෙන්ම සංහිඳියාව, ප්‍රතිසංස්කරණය සහ ත්‍රස්තවාදයට එරෙහිව මානව හිමිකම් වැඩි දියුණු කිරීම සහ ආරක්ෂා කිරීම සඳහා ශ්‍රී ලංකාවේ අඛණ්ඩ උත්සාහයන් චීනය අගය කරන බව තානාපති චෙන් අවධාරණය කළා.

“ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික මිත්‍ර අසල්වැසියෙකු ලෙස චීනය ශ්‍රී ලංකාවට ස්වෛරීභාවය සහ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම, සමාජ ස්ථාවරත්වය පවත්වා ගැනීම සහ ආර්ථික ප්‍රකෘතිය සාක්ෂාත් කර ගැනීම සඳහා ස්ථිර ලෙස සහාය දක්වනවා. තාවකාලික දුෂ්කරතා මඟහරවා ගැනීම සඳහා ජනතාව මෙහෙයවීමට ශ්‍රී ලංකා රජයට හැකි බව අපි විශ්වාස කරනවා.”, නිත්‍ය නියෝජිතවරයා පැවසුවා.
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ යෝජනාව දේශපාලනීකරණයේ ප්‍රතිඵලයක් බව චීන තානාපතිවරයා අවධාරණය කළා. එය අපක්ෂපාතීත්වය, වාස්තවිකත්වය සහ තෝරා නොගැනීම යන මූලධර්මවලට අනුකූල නොවන බව තානාපතිවරයා පෙන්වා දුන්නා.

“මානව හිමිකම් කවුන්සිලයේ යෝජනාව අදාළ රට වන ශ්‍රී ලංකාව විසින් පිළිගෙන නොමැති අතර ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම සහ ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් එම යෝජනාව සාධනීය කාර්යභාරයක් ඉටු කර නැහැ.”, චෙන් ෂූ පෙන්වා දෙනවා.
චීනය පවසන්නේ ඕනෑම රටක් ශ්‍රී ලංකාවේ පවතින දුෂ්කර තත්ත්වයෙන් ප්‍රයෝජන ගැනීමට තමන් විරුද්ධ බවයි.
ශ්‍රී ලංකාව සිය ජාතික තත්ත්වයන්ට අනුව ස්වාධීනව තෝරාගෙන ඇති මානව හිමිකම් සංවර්ධන මාවතට ගරු කරන ලෙස ඉල්ලා සිටින චීනය දේශපාලන බලපෑම් කිරීමට සහ අනෙකාගේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වීමට මානව හිමිකම් භාවිත කිරීමේ පුරුද්ද අත්හරින ලෙසත් අදාළ පාර්ශ්වයන්ට අවධාරණය කරනවා.

ජිනීවා මානව හිමිකම් සැසිවාරයේදී චීනය දරන ස්ථාවරය හුදෙකලාව සැලකීමේදී එය ශ්‍රී ලංකාවට පුළුල් සහයෝගීතාවක් ලෙස පෙනෙන්නට තිබෙන අතර එක්සත් ජාතින්ගේ ආරක්ෂක මණ්ඩලයේ නිෂේධ බලය හිමි රටක එවන් සහය එක්සත් ජාතීන්ගේ සංවිධානය තුල ශ්‍රී ලංකාව නම් කුඩා රටේ තිරසරබවය පිළිබඳ සුවිශේෂී සහතිකයක් ලෙසද පෙන්වා දිය හැකියි.
නමුත් ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය සමනය කර ජනතාවට සහන සැලසීම සඳහා ශ්‍රී ලංකාව ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ඉල්ලීම මග හරිමින් සිටින්නේ චීනය බැවින් මෙම වචන උත්ප්‍රාසාත්මකයි.

ශ්‍රී ලංකාවේ අනෙකුත් ණය හිමියන් මෙන් නොව, ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අවසර දෙන ලෙස ශ්‍රී ලංකාව කරන ලද ඉල්ලීම්වලට චීනය තවමත් හිතකර සහ සෘජු ප්‍රතිචාර දක්වා නැහැ. මේ වසරේ ශ්‍රී ලංකාව ඩොලර් බිලියන 1.5ත් 2ත් අතර ප්‍රමාණයක ණය මුදලක් චීනයට ගෙවිය යුතු බවට ගණන් බලා තිබෙනවා. සමස්තයක් ලෙස පසුගිය වසර කිහිපය තුළ චීනයේ ශ්‍රී ලංකාවේ ණය සහ ආයෝජන ඇමරිකානු ඩොලර් බිලියන අටකට අධිකයි.
මේ අතර, චීන තානාපති කාර්යාල ප්‍රකාශකයෙකු උපුටා දක්වමින් කියා සිටියේ, චීන බැංකු සමඟ ඇති ණය ප්‍රශ්නය විසඳා ගන්නේ කෙසේද යන්න පිළිබඳව සාකච්ඡා කිරීමට ඇති සූදානම පිළිබඳ චීනය මීට මාස තුනකට පෙර ශ්‍රී ලංකා මුදල් අමාත්‍යාංශයට දන්වා ඇති බවයි. “අපි මුදල් අමාත්‍යාංශයට යෝජනා යැව්වා. නමුත්, ඔවුන්ගෙන් ප්‍රතිචාරයක් ලැබුණේ නැහැ. එසේම, ශ්‍රී ලංකාව ප්‍රථමයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ ඇතිකරගත් ගිවිසුම සම්පූර්ණ කළ යුතු බව අවධාරණය කළේය. පන්දුව තිබෙන්නේ ශ්‍රී ලංකා පිටියේ” ප්‍රකාශකයා පැවසීය.

ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ (USAID) පරිපාලක සමන්තා පවර් මහත්මිය පසුගියදා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූ අවස්ථාවේද කියා සිටියේ චීනය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේදී ශ්‍රී ලංකාව සමඟ සහයෝගයෙන් කටයුතු කළ යුතු බවයි.

පොදු තත්ත්වය තුල චීනය ණය ප්‍රතිව්‍යුහගතකරණයට එතරම් කැමැත්තක් නොදක්වන අතර යම් හෙයකින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ප්‍රතිචාරය ද එය වුවහොත් ලෝක සිතියමේ කුඩා තිතක් බඳු ආර්ථික අර්බුදයේ කරවටක් ගිලී සිටින දූපත් රාජ්‍යයට අත්වන ඉරණම වඩාත් ශෝචනීය වනු ඇති.

චීනය ණය ප්‍රතිව්‍යුහගතකරණය ප්‍රතික්ෂේප කළහොත් ඉන්දියාව, ජපානය ඇතුලු පැරිස් සමාජයද එම ස්ථාවරයම දරනු ඇති අතර එය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග දැනට ඇති කරගෙන ඇති කාර්ය මණ්ඩල එකඟතාවට ද එල්ල කරනුයේ සෘණාත්මක බලපෑමක්.
මක් නිසාද යත් එම එකඟතාව මුලුමනින්ම රැඳී තිබෙන්නේ ණය ප්‍රතිව්‍යුහගතකරණය හරහා ශ්‍රී ලංකාව අත්කරගන්නා ණය තිරසරබාවය මත වන බැවිනුයි.

චීනයේ භූමිකාව සැකයට බඳුන් කරන තවත් කාරණාවක් වන්නේ ශ්‍රී ලංකාවේ නිල විදෙස් සංචිත සතු ඇමෙරිකානු ඩොලර් බිලියන 1.5කට සමාන චීන මහජන බැංකුවෙන් ලැබී ඇති විදේශ විනිමය හුවමාරු පහසුකමයි. ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල සංඛ්‍යාලේඛනවලට අනුව ජූලි මාසය අවසන් වන විට මෙරට දල නිල සංචිත ප්‍රමාණය දැක්වුණේ ඇමෙරිකානු ඩොලර් බිලියන 1.8ක් ලෙසයි.
ඒ අනුව සැබෑ ලෙසම ශ්‍රී ලංකාව සතුව ඇත්තේ ඩොලර් මිලියන 3ක් පමණක් වන අතර චීනය කොන්දේසි ලිහිල් කරන්නේ නම් ඛනිජ තෙල් ඇතුලු අත්‍යවශ්‍ය ආනයන මූල්‍යකරණය සඳහා විදේශ විනිමය ද්‍රවශීලතාව අඛණ්ඩව සැපයීමේදී බැංකු පද්ධතිය මුහුණ දී සිටින පීඩනය ලිහිල් වනු ඇති.

RECENT ARTICLES - SINHALA

Breaking: ජනපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවට අතුරු තහනම් නියෝගයක්

අගවිනිසුරු තනතුර හැර ශ්‍රේෂ්ඨාධිකරණයේ සෙසු විනිසුරු ධුර සඳහා නම් නිර්දේශ කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ජනාධිපතිවරයාට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව වෙත අතුරු නියෝගයක් නිකුත් කර...

රනිල්ට ස්තූති කරන්න කෝච්චි තුනකින් සෙනඟ කොළඹට එනවා – වජිර

මෙවර එක්සත් ජාතික පක්ෂ මැයි දිනය සැමරුම සඳහා දකුණු පළාතේ සිට දුම්රිය තුනකින් පාක්ෂිකයින් පැමිණීමට නියමිතව ඇති බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන...

කන්කසන්තුරේ වරාය හදන්න ඉන්දියාවෙන් සල්ලි

ඉන්දීය ණය අරමුදල් යටතේ කන්කසන්තුරය වරාය ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස 2017 වර්ෂයේ මැයි මස 2වැනිදා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී ඇති...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

විස්සයි විස්ස ක්‍රිකට් ඉතිහාසය අලුත් කළ පන්ජාබ් කිංග්ස්

පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් ඉතිහාසයේ ඉහළම ලකුණු හඹා යෑමේ වාර්තාව පන්ජාබ් කිංග්ස් කණ්ඩායම තමන් සතු කර ගත්තා. ඒ, ඉන්දීය ප්‍රිමියර් ලීග් පන්දුවාර විස්සයි විස්ස...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...