පාසල් 10,000කට ෆයිබර් ඔප්ටික් අන්තර්ජාල සබඳතා ලබාදී ඇති බවට ජනපතිවරයා ප්‍රකාශ කරනු ලබන්නේ කුමන දත්ත මතදැයි ලංකා ගුරු සංගමය විමසා සිටිනවා.
පෙරේදා (27) දින මාධ්‍ය අමතමින් එහි ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාව තුල ක්‍රියාත්මක සමස්ත පාසල් සංඛ්‍යාව වන්නේද පාසල් 10,165ක් පමණක් බවයි.
ජනපතිවරයා ජාතිය අමතමින් දිවා කාලයේ කළ ප්‍රකාශය රාත්‍රියේ විකාශය වන තුරු එය නිවැරදි කිරීමට නිලධාරීන්ට ඉඩ තිබූ නමුත් එසේ සිදුකර නොමැති බවයි ඔහු පෙන්වා දෙන්නේ.
අධ්‍යාපාන අමාත්‍යංශයේ සංඛ්‍යාලේඛන වලට අනුව පාසල් 2,000කට අධික ප්‍රමාණයකට කිසිඳු ආකාරයක හෝ දුරකථන සංඥාවක් නොමැති බවත් එම නාම ලේඛනය අධ්‍යාපන අමාත්‍යංශයේ තිබියදී පාසල් 10,000කට ෆයිබර් ඔප්ටික්ස් අන්තර්ජාල සබඳතා ලබාදුන් බවට සිදු කරන ප්‍රකාශ පිළිගත නොහැකි බවත් ජෝසප් ස්ටාලින් මහතා අවධාරණය කර සිටිනවා.
දරුවන් අධ්‍යාපනය සම්බන්ධයෙන් දැඩි පීඩාවකට ලක්ව සිටියදී අධ්‍යාපන බලධාරීන් දිගින් දිගටම වැරදි තොරතුරු ඉදිරිපත් කිරීම බරපතල කරුණක් බවයි ඒ මහතා පවසන්නේ.