කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනතට විරෝධය දක්වමින් ඊයේ (08) පාර්ලිමේන්තුව අසළ සිදුකල උද්ඝෝෂණයක් නිසා අත්අඩංගුවට ගෙන අධිකරණයෙන් ඇප ලැබුණු පසුව බලහත්කාරයෙන් නිරෝධායනයට රැගෙන ගිය පිරිසට මේ වන විට ශාරීරිකව මෙන්ම මානසිකව හිංසා පීඩා සිදුකරමින් පවතින බවට තොරතුරු වාර්තා වනවා.
ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාර්ලින්, ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරින්ගේ සංගමයේ කැදවුම්කරු තැන්නේ ඥාණානන්ද හිමි ඇතුළු පිරිසක් මෙලෙස බලහත්කාරයෙන් නිරෝධායනයට යොමුකර තිබෙනවා.
ඊයේ පස්වරුවේ අධිකරණයෙන් ඇප ලබා තිබියදී පොලීසියේ මැදිහත්වීමෙන් මෙම පිරිස මුලතිව් ගුවන් හමුදා කඳවුරකට නිරෝධායනයට රැගෙන ගියත් එම ස්ථානයට රැගෙන යන තුරුම ඔවුන් ගෙනයන්නේ කුමන ස්ථානයකටදැයි දැනුවත් නොකර රැගෙන යාම විශේෂත්වයක්.
එමෙන්ම දහවල් කාලයේ සිට අත්අඩංගුවට පත් පිරිසට නිසි පරිදි ආහාරයක් ලබා නොදී තිබූ අතර රාත්‍රියේ ඔවුන්ට පාන් කාලක් සහ කෙසෙල් ගෙඩියක් පමණක් ලබාදීමට පොලීසිය කටයුතු කර තිබුණා.
නිරෝධායනයට බලහත්කාරයෙන් රැගෙන ගිය පිරිසට මේ වන විට ඇඳීමට ඇඳුමක් හෝ නොමැති අතර ඔවුන් ඇඳ ඇතිරිලි ඇඳ සිටින්නේ සිරකරුවන්ටවත් නොලැබෙන සාමාන්‍ය අයිතිය නොලැබෙන තත්ත්වයක් තුළයි.
නිරෝධායනය යනු දඩුවමක් නොවන බව මීට පෙර අවස්ථා රැසකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළද එය පොලිස් දෙපාර්තමේන්තුව සැලකිල්ලට නොගන්නා ආකාරයෙන් දිගින් දිගටම හැසිරීම ලැජ්ජා සහගත වනවා.






